ත්‍රිරෝද රථ රියදුරන්ට ඉදිරියේදී ත්‍රිරෝද රථ රැකියවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (18දා) කොග්ගලදී පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ හබරාදුව කොග්ගල වෘත්තීය පුහුණු ආයතනයේ නොමිලේ රියදුරු බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
˝වයස 18 සම්පුර්ණ වූ ගමන් බහුතරයක් පුරුදුවෙලා ඉන්නේ ත්‍රිරෝද රථයක් අරන් හන්දියකට වෙලා මුළු ජීවිතයම එතනට වෙලා ගෙවන්නයි.
ත්‍රිරෝද පුහුණුව ලබන සියලු දෙනාට හා දැනට සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ත්‍රිරෝද රථ රැකියාවට අමතරව විදුලි කාර්මික, ජලනල කාර්මික, රැකියාවල යෙදිම සඳහා පුහුණුව ලබාදීම මෙමගින් සිදුකරනවා.
ඒ අනුව ත්‍රිරෝද රථ රියදුරෙකුට එවැනි හැකියාවන් ලබා තිබේනම් ත්‍රිරෝද රැකියාවට අමතරව අමතර ආදායමක් ලැබෙනවා. රැකියා තිබුනට කවුරුත් පුහුණු වෙන්නේ නෑ.
වෑල්ඩින් පාඨමාලාව සඳහා අපො. සා. පෙළ. විභාගයෙන් ගණිතය විෂය සමත් නම් මෙම මස 20දාට පෙර ජර්මානු කාර්මික විද්‍යාලය සඳහා අයදුම් කරන්න. ඒ පාඨමාලාව සම්පූර්ණ කරගතහොත් රැකියාව එළියට එනකොට හිමිවෙනවා. ලංකාවේ නොවේ වැඩිපුර සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. මේ සඳහා (CGTTI) සී.ජී.ටී.ටී.අයි වෙබ් අඩවියට පිවිස අයදුම් කරන්න.˝ යනුවෙන් පැවසීය.
හබරාදුව නිමල් අල්ගෙවත්ත/ගාල්ල අමල් අවික්රමරත්න