පුත්තලම කොළඹ මාර්ගයේ කීරියන්කල්ලිය ප්රදේශයේ දී අද (6දා) වන දින අලුයම දැව ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රීරෝද රථයේ ගමන් ගත් මාස 09ක කුඩා බිළිදෙකු හා තවත් දෙදෙනෙකු එම ස්ථානයේ දීම මරණයට පත්ව බරපතල තුවාල ලබා සිටි කාන්තාවක් හා මාස නවයක බිළිදෙකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව මරණයට පත්ව ඇත්තේ පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ වෙප්පමඩුව ප්රදේශයේ පදිංචිව සිටි එම්.නියමතුල්ලා (31) ආයිෂා විල්වත් උම්මා (51) හා මාස නවයක බිළිදෙකු වූ මොහොමඩ් සිර්නාත් යන අය බව මුන්දලම පොලිසිය පවසයි.
අනතුරෙන් බරපතල තත්ත්වයට පත් හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇති කාන්තාවගේ සැමියා විදේශ රැකියාවක් සදහා පිටත් වීමට කටුනායක ගුවන් තොටුපලට ත්රීරෝද රථයෙන් පුත්තලමේ සිට ගොස් තිබේ. ඒ සඳහා මාස නවයක නිවුන් දරුවන් දෙදෙනාද රැගෙන ගොස් ඇති අතර, එයින් එක් දරුවෙකු එම ස්ථානයේ දීම මිය ගොස් තිබේ.