බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ලබන මස 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (29දා) නියෝග කළේය.
සිද්ධියට අදාළව කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පොලීසිය, මාලිගාවත්ත ප්‍රදේශයේ පසුගිය 03වැනිදා සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතරතුර සැකකරු බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට පැමිණිලි ලැබී ඇතැයි අධිකරණයට දැනුම් දුන්නේය.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන රන්මුතුගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ, සැකකරුගේ ප්‍රකාශය හේතුවෙන් ආගම් අතර භේද හා ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් සැකකරුට ඇප නියම කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවයි.