නුගේගොඩ, ගම්සභා හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් විමර්ශන අංශය පියවර ගෙන තිබේ.
පෙට්රල්වලට භූමිතෙල් කලවම් කර විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි මත ඊයේ (22දා) රාත්‍රියේ සිදුකළ හදිසි වැටලීමකින් පසුව එම සීල් තැබීම සිදු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
වැඩිදුර විමර්ශන සඳහා එහි පෙට්‍රල් සාම්පල මේ වන විට රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, එහි ප්‍රතිඵල මත ඉදිරි පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එමෙන්ම කොලොන්නාවේ සිට කොළඹ ගලධාරී හෝටලය වෙත දැවිතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි විමර්ශන අංශය සිය භාරයට ගත් බවුසරයේ වූ ටැංකි කිහිපයක දැවිතෙල් තත්ත්වයෙන් බාල බව රසායනාගාර පරීක්ෂණවලදී තවහවුරු වී තිබේ.
එහිදී අතරමගදී එම බවුසරයේ අදාළ ටැංකිවල වූ දැවිතෙල්වලට යම්කිසි බාල ඉන්ධන වර්ගයක් මිශ්‍රකර ඇති බවට සැක කෙරේ.
එම සැකයට හේතු වී ඇත්තේ එම බවුසරය නියමිත ගමන් මාර්ගයේ නොගොස් සැකකටයුතු ස්ථානයක දිගු වේලාවක් නතර කර තිබීමය. එය නිරීක්ෂණය කිරීමෙන් පසුව එම බවුසරය සිය භාරයට ගැනීමට හදිසි විමර්ශන අංශය කටයුතු කර තිබේ.
එහි වැඩිදුර පරීක්ෂණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන අංශය විසින් සිදු කරයි.
මේ අතර, විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බවයි.
ඉන්ධන කලවම් කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ළඟම ඇති පොලීසියට හෝ 072-8870624 සහ 077-7748417 යන දුරකථන අංකවලින් හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.