නීති විරෝධී ආකාරයෙන් පසුගිය ජූනි මාසයේ සිට ශ්රී ලංකා මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නාලද ඉන්දීය ධීවරයන් 40 දෙනෙකු පසුගිය දින මන්නාරම හා පේදුරුතුඩුව උසාවි මගින් නිදහස් කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මොවුන් අතරින් ජූනි 01දා සිට අත්අඩංගුවේ පසුවුන ධීවරයන් 14 දෙනෙකු මන්නාරම් මහේස්ත්රාත්වරයා විසින් නිදහස් කරන ලද අතර, පසුගිය ජූනි 21 දින සිට අත්අඩංගුවේ පසුවූ තවත් ධීවරයන් 26 දෙනෙකු පේදුරුතුඩුව මහේස්ත්රාත්වරයා විසින් නිදහස් කළ බව පවසයි. ඉන්දියාවේ 69 වැනි නිදහස් දිනට ප්රථම මෙම පිරිස නිදහස් කරනු ලැබ ඇත.
මෙම ධීවරයන් පිරිස ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාවට භාරදීමට නියමිත බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ඉන්දියා - ශ්රී ලංකා ධීවර ගැටලුව විසඳ ගැනීම සඳහා ඉන්දියාව හා ශ්රී ලංකාව අතර මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.