රථවාහන අනතුරු සම්බන්ධව පවතින තෙවැනි පාර්ශ්වික රක්ෂණ ක්‍රමය (තර්ඩ්පාටි රක්ෂණය) තුළින් වින්දිතයන්ට වැඩි මුදලක් ලබාදීම සඳහා රක්ෂණ සමාගම් සමග සාකච්ඡා කර නව නීති පද්ධතියක් හඳුන්වාදෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දී වැරදි සිදුකරන රියදුරන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
මාර්ග අනතුරු අඩු කරගැනීමට නම් පැරණි වාහන මාර්ගයෙන් ඉවත් කිරීම, අධික වේගය සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් සංවිධානවල තාක්ෂණික ක්‍රමවේද ලංකාවේ ප්‍රවාහන පද්ධතියට ඇතුළත් කරගැනීම ආදිය සිදුකළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
වින්දිතයන්ගේ දිනයට සමගාමීව කොළඹ නව නගර ශාලාවේදී පසුගියදා පැවැති උත්සවයකදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේ මාර්ග පද්ධතිය දියුණු කළ පසු වැඩි වශයෙන් රථවාහන පැමිණීම නිසා අනතුරුවල ඉහළයාමක් සිදුව තිබෙන බවයි.
නීතිරීති තිබූ පළියට මාර්ග අනතුරු අවම කරගත නොහැකි බවත්, ඒ සඳහා සියලු දෙනාගේ ආකල්පමය වෙනස්කම්ද ඇතුළත් කළ යුතු අතර, පදිකයන්ද දැනුවත් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.