ඩෙංගු නිවාරණ වැඩසටහනක් අතරතුර මදුරුවන් බෝවෙන පරිදි නිවාස පරිශ්‍රය පවත්වාගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 20ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි කළේය.
විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 20,000කමුදල දණ්ඩනයක් ලෙස අයකරගැනීමටද නියම කළ විනිසුරුවරයා එයට අමතරව ඔහුට රුපියල් 20,000කදඩයක්ද නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ ඩී. ජයසිරි දිසානායක නමැති පොලිස් කොස්තාපල්වරයකුටය.
2013 ජුනි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී වරදකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා සේවයේ යොදවා සිටියදී මදුරුවන් බෝවෙන පරිදි නිවාස පරිශ්‍රය පවත්වාගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ රවින්ද්‍ර විජේසේකර නමැත්තාට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 20,000 ක අල්ලසක් ඉල්ලීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මෙම නඩුවට පාදක වූ2013 ජුනි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩ ප්‍රදේශයේදී යුද හමුදා සහ පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ඩෙංගු නිවාරණ වැඩසටහනක් පවත්වා ඇතැයිද, එම වැඩසටහන අතරතුර රවින්ද්‍ර විජේසේකර නමැත්තාගේ නිවාස පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී එම නිවාස පරිශ්‍රය මදුරුවන් බෝවෙන පරිදි පවත්වාගෙන ගිය බව හෙළි වී යැයිද අනාවරණය විය.
ඒ සම්බන්ධයෙන් නඩු පැවරුවහොත් රුපියල් 75,000ක දඩයක් නියම කරන බවත්, සිරදඬුවම් නියම විය හැකි බවත් රවින්ද්‍ර විජේසේකර නමැත්තාට විත්තිකරු පවසා ඇති බවත්, ඔහු රුපියල් 10,000කමුදලක් ලබාදීමට කැමැත්ත පළ කළත් එම මුදල ප්‍රතික්ෂේප කළ විත්තිකරු රුපියල් 20,000ක් ඉල්ලා ලබාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි වූ අතර, විත්තිකරු එම මුදල ලබාගෙන විත්තිකරු සමග එම නිවාස පරිශ්‍රය පරීක්ෂා කිරීමට ගිය යුද හමුදා සෙබළාට රුපියල් 5,000ක් ලබා දී ඇති බවද හෙළි විය.
එම මුදල ලබාගෙන සිය කඳවුරට ගිය යුද හමුදා සෙබළාට තමන් කළේ නීතිවිරෝධී ක්‍රියාවක් බව හැඟී ගිය හෙයින් ඒ පිළිබඳ සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියාට දැනුම්දීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරියා මේ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කොට ඇති බව නඩු විභාගයේදී හෙළි විය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි සියලු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා හතරටම ඔහු වරදකරු කළේය.
ඒ අනුව එක් චෝදනාවකට වසර 04 බැගින් චෝදනා හතරට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම් කාලය වසර 10ක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කරන ලෙස නියම කළේය.
විත්තිකරුට නියම කළ රුපියල් 40,000ක දඩ සහ දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර වසර 05ක සිරදඬුවම්ද නියම කළේය.