ටෙන්ඩර් මගඩියක් හේතුවෙන් ලංකා රජයට අයත් ලිට්රෝ සමාගමට රුපියල් බිලියන 1.7 සිට බිලියන 2.3 ක මුදලක් අහිමි විමේ ඉඩ ඇතිබවත් එල්.පී ගෑස් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම විසින් ලබාදුන් ටෙන්ඩරය අහෝසි කිරීම සඳහා ‘ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ‘ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනෙකු සැලසුම් සහගත කුමන්ත්රණයක නිරතව ඇති බවත් දුෂණ විරෝධී පෙරමුණ පවසයි.
එහි උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
2016 මැයි 27 වන දින ලෙට්රෝ ගෑස් සමාගම විසින් සිදු කරනු ලැබූ ටෙන්ඩර් බාර ගැනීම සවස 3 ට පමණ අවසන් විය. සමාගමේ ඉතිහාසයේ පළමු වරට මෙම ටෙන්ඩර් විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, මිල ගණන් ඉදිරිපත් කළ සෑම සමාගමකම නියෝජිතයින්ට සහභාගිවීමට අවස්ථාව සලසා තිබුණි. තාක්ෂණික හා වාණිජ කමිටු මගින් ටෙන්ඩර් මගින් තොරාගනු ලැබූවේ ‘ෂෙල් ඊස්ටන් ට්‍රේඩින්‘ සමාගම යි.
ඔවුන් අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම ද වේ. ලංකාවේ අවශ්‍යතාවයන් අනුව ගෑස් ප්රවාහණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණයෙන් යුතු ගෑස් ප්‍රවාහන නැව් මෙම සමාගම වෙත තිබෙන අතර, අඛණ්ඩ ගෑස් සැපයුමක් සඳහා එය අනිවාර්ය වූ සාධකයකි. මෑත කාලයේ අඩුම මිලට හා වැඩිම තාතක්ෂණික ඇගයීමට අනුව ප්‍රධානය කරනු ලැබූ ටෙන්ඩරය අවලංගු කිරීම සඳහා මේ වන විට දේශපාලන බලපෑමක් මත ‘ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ‘ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කරමින් සිටී.
ඒ සඳහා වන උපක්‍රමය වී ඇත්තේ, ලිට්රෝ සමාගමේ වත්මන් විධායක සභාපති සහ අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීම සඳහා ආචාර ධර්ම විරෝධී, පිළිගත් කාර්ය පටිපාටියෙන් තොර ප්‍රවේශයක් ලබා ඇත. ඒ අනුව, 2016 ජූනි 2 දිනට පෙරදාතම යෙදූ ව්‍යාජ ‘අධ්යක්ෂ මණ්ඩල තීරණයක්‘ ලෙස කෙටුම්පත් කළ ලේඛනයකට මේ වන විට අත්සන් ලබා ගනිමින් පවතී. මෙහි අරමුණ වන්නේ 2016 ජූනි 15 දින ලිට්රෝ සමාගමට ලබා දුන් ටෙන්ඩරය අවලංගු කිරීමයි.
මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කරනුයේ ‘රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ය. ඒ සඳහා බලපෑම් කර ඇත්තේ බලවත් දේශපාලනඥයෙකි. ඔහුට සබඳතා ඇති සමාගමක් ද ‘ලිට්රෝ සැපයුම‘ ලබා ගැනීමේ මෙම කුමන්ත්රණයේ අරමුණ වී ඇත. එම සමාගමට වඩා අඩු මිල ගණන් ඉදිරිපත් කොට ඇති සැපයුම් සමාගම් දෙකකි. යනුවෙන්ද එහි සඳහන්කර තිබේ.