මාර්ග තදබදය නිසා දිනකට රුපියල් බිලියනයක් රටට අහිමි වෙන බවත් එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3% ක් වැනි ඉහළ අගයක් බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය ආර්ථික ප්‍රමුඛතා හඳුනා ගනිමින් අධිවේගී මාර්ග ඉදිකිරීමට නොව, පොදු ප්‍රවාහනය වර්ධනය කිරීම සඳහා ආයෝජනය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඊයේ දින (07දා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනයේ පැවැති උත්සවයක් අමතමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.
“කොට්ටාවේ ඉඳන් ගාල්ලට යන්න පැයයි. නමුත් කොට්ටාවට යන්න පැය එකහාමාරක් යනවා. නුවර අධිවේගී මාර්ගය හැදීමෙන් මාර්ග තදබදය විසඳෙයිද? ගලගෙදරින් අධිවේගී මාර්ගය නැවතුනත් මහනුවර නගරයට යන්න පැය එකහමාරක් යනවා.
අපි කිසිම ආයෝජනයක් කරලා නැහැ පොදු ප්‍රවාහන සේවය පැත්තෙන්. අදටත් තියෙන්නේ ලොරි බොඩිවල ගහපු බස්. අපේ රට මධ්‍ය ආදායම් ලබන රටක්. දැන් ජනතාව කැමති නෑ කොඳු කඩාගෙන, දාඩිය මුගුරු දාගෙන කාර්යාලයට යන්න හෝ ප්‍රවාහන අවශ්‍යතා සපුර ගන්න. එයට ගැළපෙන ප්‍රවාහන බස්රථ සේවයක් රජය ලබා දිය යුතුයි.
ඒවගේම පැරණි දුම්රිය පද්ධතිය අදට ගැළපෙන්නෙ නෑ. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අපි දුම්රිය විදුලිකරණය කරනවා. තවද සැහැල්ලු දුම්රිය පද්ධතියක් ස්ථාපිත කරනවා. මේ සියල්ල කළ යුතුව තිබුණේ මීට වසර දහයකට පෙර. මේ නිසා දැන්වත් බස් රථ සේවය, දුම්රිය සේවය දියුණු කළ යුතුයි. නොකරන තාක්කල් අධිවේගි මාර්ගවලට කොපමණ මුදල් යට කළත් ප්‍රවාහන ප්රශ්නය විසඳිය නොහැකියි.” යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.