රජයේ වියදම් අඩු කිරීමේ පියවරක් ලෙස ඇමෙරිකාවේ නව ජනාධිපතිවරු වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන නවතම එයාර් ෆෝස් වන් ගුවන් යානා ඇණවුම අවලංගු කළ බව තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීමට සති හයක කාලයක් තිබියදී ඩොනල්ඩ් ට්රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ අවධාරණය කර තිබේ.
"බෝයිං සමාගම විසින් අනාගත ජනාධිපතිවරු වෙනුවෙන් 747 එයාර් ෆෝස් වන් අලුත්ම ගුවන් යානයක් නිෂ්පාදනය කරමින් සිටිනවා. නමුත්, මේ යානයට යන වියදම දැරිය නොහැකි තරම්. ඇ.ඩො.බිලියන 4කට වැඩියි. ඒ ඇණවුම අවලංගු කළා." යැයි තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් නිකුත් කළ එම ට්විටර් පණිවඩුයේ දැක්වෙයි.
ඇමෙරිකානු රජය විසින් බෝයිං සමාගම සමග මෙවැනි ගුවන් යානා දෙකක් හෝ කිහිපයක් නිෂ්පාදනය වෙනුවෙන් කොන්ත්රාත්තුවක් අත්සන් කර ඇති බවටද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව, මෙම යානා 2024 පමණ වනවිට සේවයට යෙදවීමේ අපේක්ෂාවෙන් පැවති බවත්, දෙවැනි වරටද ඇමෙරකානු ජනාධිපතිවරණය ජයග්රහණය කළහොත් ට්රම්ප් වෙතද මෙම නවතම යානාවලින් ගමන් කිරීමේ අවස්ථාව ලැබෙන බවත් එම විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්රම්ප් විසින් එවනු ලැබූ ට්විටර් පණිවුඩයත් සමගම බෝයිං සමාගමේ කොටස් අගය 1% කින් පමණ උදෑසන කාලයේදී පහළ ගොස් තිබුණි. නමුත්, සවස් කාලය වනවිට එම තත්ත්වය යළි යථාතත්ත්වයට පත්ව තිබූ බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.