අධිකරණයේ වරෙන්තු ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තමන් විසින් සඟවාගෙන සිටින බවට ඇතැම් පුද්ගලයන් කළ ප්‍රකාශ පිළිබඳ කනගාටුවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අද (20දා) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගිය සති කිහිපය තුළ මෙරට සිංහල සහ මුස්ලිම් ජනතාව අතර භේද ඇති කිරීම සඳහා යම් යම් බලවේග ක්‍රියාත්මක වීම පිළිබඳවද මම කනගාටු වෙමි. මීට පෙර අවස්ථා කිහියකදී එවන් ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති වූ අවස්ථාවේ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කොට එවන් වූ අවස්ථා ඇතිවීම වළක්වාගැනීමට මමද උපරිම ලෙස කැපවී කටයුතු කළෙමි.
නමුත් මම ශ්‍රී ලංකාවෙන් බැහැර ව සිටි පසුගිය සති දෙකක කාලය තුළ බොදුබල සේනාවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මා විසින් සඟවාගෙන සිටින බවට මෙරට මුස්ලිම් අන්තවාදීන් කිහිප දෙනෙකු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ මාගේ කනගාටුව ප්‍රකාශ කරමි.
ඔවුන් එම චෝදනාව ඉදිරිපත් කරන්නේ මා අධිකරණ අමාත්‍ය ධුරයේ බලය භාවිත කිරීම තුළින් එවැන්නක් සිදු කරන බව සඳහන් කරමිනි. පසුගිය මාස කිහිපයකට වඩා ඉතා බරපතළ ගණයේ සිදුවීම් සිදුවූයේ 2010 සිට 2014 දක්වා වකවානුව තුළය. එම කාලය තුළ අලුත්ගම දර්ගා නගරය වැනි ප්‍රදේශවල බරපතළ ගණයේ සිද්ධි වාර්තා වුවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගැනීමක් හෝ නඩු පැවරීමක් සිදු නොවූයේ මාගේ පූර්වගාමී සහෝදර අමාත්‍ය රවුෆ් හකීම් අධිකරණ ඇමතිතුමා ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කළ නිසාද යන්න ඔවුන් ප්‍රශ්න නොකරන්නේ මන්දැයි යන්න අප ප්‍රශ්න කළ යුතුව ඇත.
රටේ සිදුවන එවන් අපරාධ සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ අධිකරණ ඇමතිවරයාට නොව පොලීසියටය. මේවනවිට පොලීසිය විසින් 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ඇති බවද නොරහසකි.'' යනුවෙන්ද කියා සිටියේය.