එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට වඩා මැක්ස්වෙල් පරණගම වාර්තාව අහිතකර එකක් බව රජයේ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (22දා) ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මීට පෙර මැක්ස්වෙල් පරණගම වාර්තාව ඉදිරිපත් කළේ නම් එක්සත් ජාතීන්ගේ වාර්තාව බරපතළ වීමට ඉඩ තිබුණු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,
“පරණගම වාර්තාව කියවලා බැලුවාම යූ.එන්. වාර්තාවට වඩා නරක එකක්. මන් දන්නෙ නෑ මොන මෝඩකමකට ඉල්ලුවාද කියලා. ඉස්සෙල්ලා කිව්වා වහාම පාර්ලිමේන්තුවට පරණගම වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. මේක කලින් පාර්ලිමේන්තුවට දැම්මා නම් යූ.එන්. වාර්තාව මීට වඩා බරපතළ වෙනවා.
පරණගම වාර්තාවෙන් පැහැදිලිවම කියනවා සුදු කොඩි නඩුව ගැන. චැනල් ෆෝ එකේ ගිය ඒවා විභාග කරන්න කියනවා. ඒ ගැන පරණගම වාර්තාව කතා කරලා තියෙනවා. පුලිදේවන්, චාල්ස් ඇතුළු ඝාතන, ඉසෙයිප්‍රියාගේ ඝාතනය ගැන වහාම පරීක්ෂණ කරන්න ඕන කියලා ඒ වාර්තාවෙන් කියනවා. යූ.එන්. වාර්තාවෙන් එහෙම එක එක සිද්ධි පිළිබඳව නම් කරලා නෑ" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.