ජාතිවාදය ආගම්වාදය කියන දෙක බැහැර කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් බැහැර කළ යුත්තේ ජාති භේදය හා ආගම් භේදය බව ජනතාව මෙන්ම දේශපාලඥයෝ වටහාගත යුතු යැයි සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ සුමංගල මහා නා හිමියෝ පැවසූහ.
බොහෝ දෙනෙකු ජාතිවාදය ආගම්වාදය යන වචනවල තේරුමවත් නොදැන ක්රියා කරන බවත් ජාතිවාදය ආගම්වාදය බැහැර කරන්නේ නම් ථෙරවාදී බුදුදහම ද බැහැර කළ යුතු බව උන්වහන්සේ පවසා සිටියහ.
රංගිරි දඹුලු රජමහා විහාරස්ථ රංගිරි පාය රජ මහා විහාරයේදී ඊයේ (24දා) පස්වරුවේ පැවති රැස්වීමකදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදී වැඩිදුරටත් අනුශාසනාව කළ උන්වහන්සේ,
“ අද වනවිට අපේ රටේ ජාතිවාදය ආගම්වාදය නමින් ජනතාව නොමග යවන දේශපාලඥයන් කණ්ඩායමක් සිටිනවා. මේ පිළිබඳව ජනතාව දැනුම්වත් විය යුතුයි. වාදය කියන වචනයේ අර්ථයවත් නොදත් මේ අය ජනතාව ඇවිස්සීමට හා කුපිත කිරීමට මෙවැනි ප්රකාශ නිකුත් කරමින් සිටිනවා. ඒ නිසා ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. ජාතිවාදය, ආගම්වාදය පුද්ගලයකු ළඟ තිබිය යුතුයි. එහෙම නොමැති වුවොත් ථෙරවාදී බුදුදහම පවා අහිමි වෙයි. හැබැයි පුද්ගලයකු ළඟ නොතිබිය යුත්තේ ආගම් භේදය හා ජාති භේදය කියන වචනය තමයි. මේකට වාදය ද බේදයද කියලා නියම වචනය බොහෝ දෙනෙක් දන්නේ නෑ
වර්තමානය වනවිට සිංහල බෞද්ධ හිමිකම් පිළිබඳව අයිතිය පිළිබඳව කතා කිරීමටවත් ඉඩක් නැති තත්ත්වයකට පත් වෙලා. මුස්ලිම් ජනතාවගේ වාසනාවකට ඔවුන්ගේ ප්රශ්න හා ගැටලු සාකච්ඡා කිරීමට ඔවුන් නියෝජනය කරන දේශපාලන අධිකාරිය ඉදිරිපත් වෙලා ඉන්නවා. දමිළ ජනතාවගේ වාසනාවට ඔවුන්ගේ ප්රශ්න හා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සොයා බැලීමට ඔවුන් නියෝජනය කරන දේශපාලන අධිකාරියේ දේශපාලඥයන් ඉදිරිපත් වෙලා ඉන්නවා. එහෙත් සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ ප්රශ්න ගැටලු පිළිබඳව සොයා බලන්නට කිසිම දේශපාලඥයෙක් ඉදිරිපත් නොවීම විශාල අභියෝගයක්.
මැතිවරණවලදී ජනතාව මේ පිළිබඳව සිතා බැලිය යුතුයි. මැතිවරණයකදී තමන්ගේ මනාපය ඡන්දය ඉල්ලාගෙන එද් දී විශේෂයෙන් දේශපාලන පක්ෂය කුමක් වුවත් බෞද්ධ කමට, සිංහල කමට කතා කරනවද, ඔහුගේ මතය කුමක්ද, යන්න විමසීමට ජනතාවට අයිතියක් තිබිය යුතුයි. ඒ නිසා ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි” යැයිද පවසා සිටියහ.