වර්තමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන දින 100 වැඩපිළිවෙළ අධීක්ෂණය කරමින් ලබාදුන් පොරොන්දු අදාළ දිනවල සිදුකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවකට අනුව පිහිට වූ ජාතික විධායක සභාව පෙබරවාරි මාසයට එක් දිනක්වත් රැස්වී නැත.
ජාතික විධායක සභාව දින 100 කාලය තුළදී සෑම අඟහරුවාදා දිනකදීම රැස්වීමට තීරණය කර තිබිණි.
එහෙත් මේ මස 03 වැනිදා පසළොස්වක පොහොය යෙදී තිබීම නිසා ජාතික විධායක සභාව ඊළඟ අඟහරුවාදා දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණි. එම සැලැස්මට අනුව පෙබරවාරි 10 වැනිදා ජාතික විධායක සභාව රැස්වීමට නියමිතව තිබිණි. එහෙත් එදිනද ජාතික විධායක සභාව රැස් නොවූ අතර, ඊයේ (17දා) දිනයේදීද එය රැස්වූයේ නැත.
ජාතික විධායක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එම සභාවේ නියෝජිතයන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා, සමස්ත ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රිෂාද් බද්යුදීන් යන මහත්ම මහත්මීහු නියෝජනය කරති.