නිදහස් දින සැමරුම උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කිරීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති කර නොගන්නා ලෙසත්, මීට පෙර පැවැති ජාතික උත්සවයකදී භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කර පුර්වාදර්ශ ලබාදී ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙවර ජාතික සැමරුම් උත්සවයේදී භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කරනවාද නැද්ද යන්න නැගූ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ලබා නොදුන්නේය.
එහෙත් සිංහල හා දෙමළ භාෂා රටේ රාජ්‍ය භාෂා බවත්, යහපාලනය උදා වී තිබෙන මෙම අවස්ථාවේදී ඕනෑම ජාතියක කෙනෙකුට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ නිදහස තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා