රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව රජය ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් පියවර රැසක් පසුගිය මාස තුන තුළ රජය ගෙන ඇති බවද පැවසූ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ තමන්ගේ වගකීම සහ වගවීම පිළිබඳ සියලු දෙනා අවබෝධයෙන් කටයුත කළ යුතු බවද ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05දා) එක්වෙමිනි.
නව තාක්ෂණය සහ නව පර්යේෂණ තුළින් කෙරෙන සොයාගැනීම් සමග අපගේ රණවිරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීමට පසුගිය දිනවල තමා සිදුකළ විදේශ සංචාරවලදී මෙන්ම මෙරටට පැමිණි රාජ්‍ය නායකයන්ද කැමැත්ත පළකර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
දශක තුනක් රටේ ජනතාව පීඩාවට පත්කළ රුදුරු ත්‍රස්තවාදය නිමකිරීමේ ඓතිහාසික කාර්යභාරය නිමකළ අපගේ විරෝධාර රණවිරුවන් අද මානව සමාජය වෙනුවෙන් ඉටුකරන පුළුල් මෙහෙවරද මෙහිදී ජනාධිපතිවයා ඇගයීමට ලක්කළේය.
එමෙන්ම නේපාලයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ඉතා කැපවීමෙන් යුතුව සහන සේවා කටයුතුවල නිරතව ලෝකයටම මානුෂිකත්වයේ ආදර්ශය ලබාදෙන අපගේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරයද මෙහිදී ජනාධිපතිවරයා අගය කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍ර‘දේශයේ අක්කර 160 ක භූමි භාගයක ඉදිකෙරුණු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය ආරම්භයේදී උපාධි පාඨමාලා 05 ක් පවත්වාගෙන යනු ලබයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක යන මහත්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.