වත්මන් ආණ්ඩුව පිහිටුවා ඇති ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 48 ක් වියයුතු බවත්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව 45 නොඉක්මවිය යුතු බවත් පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අද (03දා) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 127කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 143 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 16 ක් ලැබුණි. මන්ත්‍රීවරු 63 දෙනෙක් ඡන්ද විමසීමේදී සභාවට නොපැමිණ සිටියහ.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ඒ සඳහා පක්ෂව ඡන්දය භාවිත කළ අතර, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් විරුද්ධව ඡන්දය භාවිත කළහ.
දෙමළ ජාතික සන්ධානය ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරන් පිරිසක්ද ඡන්ද විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ.
ඡන්දය විමසන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොසිටීමද විශේෂත්වයක් විය.
අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ පළමු යෝජනාව වන මෙය අද (03දා) දවස පුරා විවාදයට ගැනුණි. ඡන්ද විමසීමෙන් පසුව පාර්ලිමේන්තුව මේ මස 22 වැනිදා දක්වා කල්තැබිණි.