ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක ‘වලිගයක්’ බවට පත් කිරිමෙන්, දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකධුරය ලබාදීමේ සිය අරමුණ රටට සතුරු දෙස්-විදෙස් බලවේග විසින් ඉටුකරගෙන ඇතැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද (21දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඉහත අදහස් දැක්වීය.
ප්රශ්නය:- ජාතික ආණ්ඩුවට එකගද?
පිළිතුර:- ජාතික ආණ්ඩුව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක ‘වලිගය’ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කරවීමයි. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව නැටවීමක්, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුළුතර ආණ්ඩුව, බහුතර ආණ්ඩුවක් බවට පරිවර්තනය කර දීමක්. ඒ පාවාදීමට අපි කිසි ලෙසකින් සම්බන්ධ වෙන්නෙත් නැහැ.
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 95ක් ලැබුණා. එහෙම ප්‍රතිඵලයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂය බලවත් ආකාරයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, දැවැන්ත අවලාද ව්‍යාපාරයක් රැුගෙන ගිය වාතාවරණයක් හා ඔවුන් මාධ්‍ය සියල්ලම පාහේ ඒකපාර්ශ්වීය ලෙස පාවිච්චි කරමින් තිබියදීයි.
මෑත කාලයේ බිහි වූ බලවත්ම විපක්ෂය තමයි මෙවර පාර්ලිමේන්තුවේ තිබෙන්නේ. 95ක ශක්තිමක් විපක්ෂයක් හා 113 සම්පූර්ණකර නොගත් ආණ්ඩුවක් තමයි මෙවර මහ මැතිවරණයෙන් බිහි වුණේ. එහෙම වෙලාවක විපක්ෂය ගලවාගෙන ගිහිල්ලා සුළුතර ආණ්ඩුවට බහුතර බලය හදලා දෙන්න උනන්දු වෙනවා කියන්නේ ඒක දේශපාලන පාවාදීමක්. ඒක අපට ඡන්දය දුන් ලක්ෂ 47කට අධික ජනතාව අමු අමුවේ පාවාදීමක්. ඒ නිසා අපි ඒ පාවාදීමට එකගවන්නේ නැහැ.
ප්රශ්නය:- විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපතිතුමාට ලැබේවිද?
පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවකට ගැට ගහපුවාම අත්වන ප්‍රතිඵලය තමයි ආසන 16ක් හිමි දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් විපක්ෂනායකවරයා බවට පත්වීම.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව සැප්තැම්බර් අග නිකුත් වෙනවා. ඒ වාර්තාව ලැබෙන අවස්ථාවේ ආර්. සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක පුටුවේ ඉන්නවා කියන්නේ කුමක්ද? ඒ වාර්තාවේ තිබෙන කරුණු සත්‍යයි කියන මතය හැදීමට දෙමළ ජාතික සන්ධානයට ලෝකය වටේ යැමට ‘නිල වාහනයක්’ ලබාදීමක්.
ඒ නිසා අපි මේක අනුමත කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාපය සමග ගැට ගැසීමේ එක් අරමුණක් තමයි සම්බන්ධන්ට විපක්ෂ නායක ධුරය ලබාදීම. මේක බරපතල පාවාදීමක්. ඒ නිසා අපි කිසිසේත්ම ජාතික ආණ්ඩු සංකල්පයට එකග නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩු සංකල්පයට එකග නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග අපි විපක්ෂයේ සැබෑ භූමිකාව ඉටු කරනවා. එයට මහින්ද රාජපක්ෂ මැතිතුමන් නායකත්වය ලබා දෙනවා.