ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ දූෂිත දේශපාලඥයන්ට නැවත වරක් ඇමතිකම් ලබා දී ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය .
‘බල පෙරළිය සහ ජනතා අභියෝග’ යන මැයෙන් ඊයේ (24දා)අකුරණ පැවැති සම්මන්ත්‍රණයකදී අනුර කුමාර දිසානායක මහතා එසේ කීය .
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
“රාජපක්ෂ පාලනයට යුද්ධයක් නැතිව රට පාලනය කරන්න බැරි තත්වයක් ඇති වෙලයි තිබුණේ. උතුරේ යුද්ධය අවසන් වූ වහාම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන මේ සියලු ජාතීන් අතර සමගිය ගොඩනගන්න හොඳ අවස්ථාවක් නිර්මාණය වුණා. නමුත් රාජපක්ෂ පාලනය ඒක කළේ නෑ. ඒ වෙනුවට තමන්ගේ පැවැත්ම සඳහා රට තුළ තවත් ජාතිවාදී යුද්ධයක් ආරම්භ කරන්න උත්සාහ කළා.
ඒ මේ රටේ සිංහල හා මුස්ලිම් ජනතාව අතරයි. 2050 වනවිට සිංහල ජාතිය වඳවෙනවාය, මුස්ලිම් ජාතිය ඉහළ යනවාය කියන මතයක් හදල සිංහල ජනතාව තුළ වෛරයක් ඇති කරන්න ඔය එක එක සේනා හැදුවේ රාජපක්ෂ පාලනයයි. එහෙම නැත්නම් අලුත්ගම සිද්ධියේදී ඇඳිරි නීතිය පනවලා තියෙන අවස්ථාවක දෙසීයක් පමණ පොලු අරන් එන්නේ කොහාටද?
1970 මැතිවරණයේ මැතිවරණ පොරොන්දුව හඳෙන් හාල්.1977 මැතිවරණ පොරොන්දුව ධාන්‍ය රාත්තල් අට.1994 මැතිවරණ පොරෙන්දුව තුනයි පනහට පාන්. 2015 මැතිවරණ පොරොන්දුව අල්ලස,දූෂණය මර්දනය.ඉතිහාසයේ මින් පෙර තිබූ සියලු මැතිවරණ ජයග්‍රහණය කරල තියෙන්නෙ බඩ මුල් කරගෙන. නමුත් පළමු වතාවට මෙවර ජයග්‍රහණය කරල තියෙන්නේ අල්ලසට,දූෂණයට එරෙහිව. ඒ නිසා ජනතාවගේ ඒ බලාපොරොත්තු ඉටුකරන්න ජවිපෙ දිවි හිමියෙන් සටන් කරනවා.
පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ දූෂිත දේශපාලකයන්ට යළිත් වරක් ඇමතිකම් ලබාදී යළිත් ඔවුන් පාලනයට එක් කරගැනීමෙන් තමයි ජාතික ආණ්ඩුව පිහිටුවන්න හදන්නේ. ජනවාරි අටවැනදා ජනතාව ඡන්දය දුන්නෙ මහින්ද රාජපක්ෂට එරෙහිව පමණක් නෙවෙයි. තරුණයන් ගස් බැන්ද ඇමතිවරුන්ට, කුඩුකාර මන්ත්‍රීවරුන්ට, එතනෝල්කාර, කසිප්පුකාර මැතිඇමතිවරුන්ටත් විරුද්ධවයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඔවුන් නැවත බලයට පත්කිරීම කිසිම සදාචාරයක් නෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි තරයේම මේ රජයට බල කර සිටිනවා ජාතික ආණ්ඩුයකට නොගොස් ලබන අප්‍රේල් 23වැනිදා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා.
මේ දින සියය තුළ කරගන්න තියෙන ඊළඟ ප්‍රධාන කාර්යය තමයි මේ වංචා,දූෂණවල යෙදුණු අය නීතිය හමුවට ගෙනල්ලා දඬුවම් කරන එක. ඒක කරවාගන්නත් අපි විශේෂ උත්සාහයක් ගන්නවා. මේක අපි කරන්නෙ පෞද්ගලිකව පළිගන්න නෙවෙයි, හොරකම් කරන්න බලාගෙන ඉන්න අයට උණ ගැනෙන්න. මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න බලකරලා 26වැනිදා කොළඹදී උද්ඝෝෂණයකුත් කරනවා.
අපට ජනතාව වෙනුවෙන් ඉටු කරගන්න අවශ්‍ය වැදගත් කරුණු ටිකක් තියෙනවා.ඊටපස්සේ අනිවාර්යයෙන්ම අපේ‍්‍රල් 23වැනිදා පාර්ලිමේන්තුව විසුරුවලා,ඡන්දයක් තියලා, ඊට පස්සෙ අවශ්‍ය නම් ජාතික ආණ්ඩුවක් පිහිටුවාගත්තාට කමක් නෑ" යැයිද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කිය.
මොහොමඩ් ආසික්