අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් හා තරුණයන්ට වැඩි අවස්ථා සලසන, රටේ ආර්ථිකය යළි ගොඩනගන අයවැය යෝජනාවලියක් අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙය ජාතික ආණ්ඩුවේ මංගල අයවැයද වෙයි. අයවැය අනුමත කිරීම සඳහා වන විශේෂ කැබිනට් රැස්වීමක් අද (20දා) පෙ.ව. 9.30 ට ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් 2016 අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අවස්ථාවට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
ඉදිරි වර්ෂය සඳහා ක්‍රියාත්මක වන විශේෂිත බදු වර්ග සහ ජනතා සහනද අයවැයට ඇතුළත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
අයවැය විසර්ජන පනත දෙවැනි වර කියවීමේ විවාදය හෙට (21දා) සිට දින 12 ක් පුරාවට පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම දෙසැම්බර් මස 05 වැනිදා සිදු කෙරේ.
අයවැය කාරක සභා විවාද දෙසැම්බර් මස 07 වැනිදා සිට දින 12 ක් පුරාවට පැවැත්වෙන අතර, 2015 අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 19 වැනිදිනය.
මීට ප්‍රථම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවේ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මේ අතර, 2016 අයවැය දින සියයේ අයවැයෙන් ඔබ්බට ගිය, තවදුරටත් සංවර්ධනය හා ජනතා සහන යන අංශ දෙක කෙරෙහිම අවධානය යොමු කළ අයවැයක්ලෙස අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සහන් කළේ, 2016 වසර සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය ශ්‍රී ලංකාවට නව ආරම්භයක් ලබාදෙනු ඇති බවයි. එය මෙරට සංවර්ධන ගමන්මගේ සන්ධිස්ථානයක් වනු ඇති බවද හෙතෙම පවසා සිටියේය. එමෙන්ම, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සිට රටේ සියලු ජනතාවට එය පොදුවේ අපේ අයවැය ලෙස හැඳින්වීමට හැකි අයවැයක් වනු ඇති බව ද ඔහු සදහන් කළේය.
"අපි මේ අලුතෙන් පටන් ගන්නෙ දැඩි අර්බුදයකට ලක්ව තිබූ ආර්ථිකයක්. මෙය යළි ගොඩනැගීම පහසු කාර්යයක් නොවෙයි. දින සියයේදී ඒ අමාරු ආර්ථිකයත් කළමනාකරණය කරල තමයි, ජනතාවට සහන ලබාදුන්නේ. දින සියයේ අයවැයෙන් ඔබ්බට ගිය, තවදුරටත් සංවර්ධනය හා ජනතා සහන යන අංශ දෙක කෙරෙහිම අවධානය යොමුකළ අයවැයක් ලෙස තමයි, අපි 2016 අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නෙ.
අයවැය කියපුවාමරටේ සියලුම ජනතාව කල්පනා කරන්නෙ තමන්ට ලැබෙන සහන මොනවාද කියලයි. අපි මෙවර අයවැයෙන් ජනතාවගේ ජීවන වියදම අඩු කරන ගමන්ම රටේ සංවර්ධනය ඉදිරියට රැගෙන යන්නත් අපේක්ෂා කරනවා. පැවැති පාලනයෙන් පීඩාවට පත් වූ මේ රටේ 75% ක් 80% ක් තරම් ජනතාවට සහන ලබාදීම තමයි, අපේ ඉලක්කය.
මෙවර අයවැය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ මහත් උනන්දුවක්. ඊට හොඳම උදාහරණය අයවැය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස කළ ආරාධනයට ජනතාවගෙන් ලැබී ඇති ප්‍රතිචාරයි. ඒ වෙනුවෙන් අපට යෝජනා 1,285ක් ලැබී තිබෙනවා. මෙය පසුගිය අයවැය යෝජනාවලිය වෙනුවෙන් ලැබුණු ජනතා යෝජනා සමග ගත්විට පස් ගුණයක පමණ වැඩිවීමක්" යනුවෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ෂමිල පෙරේරා/චාමර සම්පත්