ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත වුවත් එය ක්‍රියාත්මක වන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූ පසුව බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බවත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් 1987 සම්මත වූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු වී තිබෙන බලතල කිසිවක් වෙනස් නොවන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
අද (06දා) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවක් ලෙස ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතු පොදු සමාව දීමේ බලය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක්විය යුතු බවයි.
මීට අමතරව පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපතිවරයා සතුව තිබෙන බලය අහෝසි විය යුතු බවට යෝජනා කර තිබෙන බවද පවසා සිටියේය.