ජල සම්පාදන මණ්ඩල මනු සටහන්කරුවන්ගේ ගැටලුව විසඳීමට බලධාරීන් දිනෙන් දිනම අතපසු කරන නිසා අද (20දා) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ග දියත් කරන බව මනු සටහන්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව රාජකාරි වේලාවෙන් පසු අතිකාල රාජකාරිවල නිරත නොවීම හා සති අන්ත රාජකාරි කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බවද එම සංගමයේ ලේකම් සෙනරත් අර්ථජීව මහතා සඳහන් කළේය.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය තුළදී,දිනකට ජල බිල්පත් ලිවීම් 70කට සීමා කරන බවත්, එම ප්රමාණය සේවකයන්ට ලබාදී තිබෙන දෛනික වැඩ ඉලක්ක ප්රමාණය බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් සමස්ත ලක්ෂ 21 ක ජල පාරිභෝගිකයන්ගේ ජල බිල්පත් නියමිත පරිදි නිකුත් කිරීම සඳහා එක් සේවකයෙකු දිනකට ජල බිල්පත් 120කට ආසන්න ප්රමාණයක් සකස් කළ යුතු බවත්,මීට අමතරව සති අන්තයේදීත් රාජකාරි කටයුතු කළයුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.
අකුරට වැඩ කිරීමත් සමග මණ්ඩලයට දෛනිකව එකතුවන මුදල් ප්රමාණය නොලැබී යන බවත්, මීට අමතරව දින 30කට වරක් බිල්පත සකස් නොවීම හරහා ජල පරිභෝගිකයන්ට අධික මුදලක් ගෙවීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.
පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම,ක්ෂේත්ර නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම,කොන්ත්රාත් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කරගැනීම, බඳවාගැනීමේ සුදුසුකම් විධිමත් කිරීම සහ වැඩ ඉලක්ක සැපිරීමෙන් පසු ලබාදුන් දීමනාව නැවත ලබාගැනීම යන ඉල්ලීම් මූලික කරගනිමින් මෙම වෘත්තීය ක්රියාමාර්ගය දියත් කරන බවද ලේකම්වරයා කියා සිටියේය.