ජල මූලාශ්‍රවලට කැළිකසළ බැහැර කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ජල මූලාශ්‍රවලට කැළිකසළ දමන බවට දිගින් දිගටම පැමිණිලි ලැබීම නිසා ඒ පිළිබඳව පොලිස් පරිසර ඒකක විසින් සොයා බලන බවත්, මීට අමතරව පොලිස් නාවික කොට්ඨාසය කැළිකසළ බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස් පරිසර ඒකකය සහ පොලිස් නාවික
කොට්ඨසය මගින් කැලණි ගඟ සහ බොල්ගොඩ ගඟ ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, එම පිරිසෙන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බොල්ගොඩ ගඟට කැළිකසළ දැමීම නිසා බවද පවසා සිටියේය.
බොල්ගොඩ ගඟට කැළිකසළ දැමූ 16 දෙනාගෙන් 10 දෙනෙකු කාන්තාවන් බවත්, කැලණි ගඟට කැළිකසළ දැමු 07 දෙනාගෙන් තිදෙනෙක් කාන්තාවන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.
මහා පරිමාණ සමාගම් විසින් ජල මූලාශවලට කැළිකසළ බැහැර කරමින් සිටියදී එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ජල මූලාශ්‍රයකට කැළිකසළ සුළු ප්‍රමාණයක් බැහැර කළ සාමාන්‍ය මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාමත් සෝචනීය තත්ත්වයක් බව පරිසර සංවිධාන සඳහන් කරයි.
බොහෝ ජල මූලාශ ආශ්රිත කර්මාන්ත ශාලා කිසිදු ක්‍රමවේදයක් භාවිතා නොකර ජල මූලාශවලට කැළිකසළ මුදාහරිමින් තිබෙන බවත්, මේ ආකාරයට කැළිකසළ බැහැර කරන බොහෝ කර්මාන්ත ශාලා මධ්‍යම පරිසර අධිකාරියේ හෝ පළාත් පාලන ආයතනවල ලියාපදිංචියවත් ලබාගෙන නොමැති බවත් එම සංවිධානය නියෝජිතයෝ සඳහන් කරති.
කැලණි ගඟට තෙල් මිශ්‍රකර ජල සම්පාදන මණ්ඩලයට විශාල පාඩුවකුත්, ජල සම්පතට දැඩි විනාශයකුත් කළ මහා පරිමාණ සිසිල් බීම කර්මාන්ත ශාලාවට එරෙහිව පොලීසිය ඇතුළු වගකිවයුතු ආයතන කිසිවක් නීතිය ක්‍රියාත්මක නොකළ බව පරිසර සංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා සඳහන් කළේය.
මහා පරිමාණ සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළද සාමාන්‍ය මිනිසුන් කිහිප දෙනෙකුට කැළිකසළ දැමූ බවට නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවත්, මේ නිසා කැළිකසළ බැහැර කරන සියලුම සමාගම්වලට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන ලෙස සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතා ඉල්ලා සිටී.