නළ මගින් ලබාදෙන පානීය ජලය නිෂ්පාදනය කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇති නිසා නුදුරු දිනකදීම ජල ගාස්තු වැඩිකිරීමට සිදුවන බව නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.
ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට ලීටර් 1000ක් රුපියල් 12ක් වැනි අඩුමුදලකට ලබාදුන්නද, වෙළෙඳපොළේ ජල ලීටරයක් රුපියල් 70ක් පමණ වන බව රාජ්‍ය ඇමතිවරිය ඊයේ (20දා) ප්‍රකාශ කළාය.
ජලය පිරිපහදුකර ජනතාවට ලබාදීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ ජල ගාස්තු වැඩිකරන ප්‍රමාණයන් කෙසේදැයිමේ දක්වා ස්ථිර තීරණයකට එළඹ නැති බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමතිවරිය මේ බව කීවාය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා සඳහන් කළේ පානීය ජල ලීටර් 1000ක් නිපදවීම සඳහා කළමනාකරණ හා මෙහෙයුම් ගාස්තු වශයෙන් රුපියල් 49ක පිරිවැයක් දැරීමට සිදුවන බවයි.
ණය වාරික සහ පොළිය එකතුකර බැලූවිට ජල ලීටර් 1000ක් නිපදවීම සඳහා රුපියල් 150ක පමණ වියදමක් දැරීමට සිදුවන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.