ජපාන අගමැති ෂින්සෝ අබේ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජපාන අගමැතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබීය.
ෂින්සෝ අබේ මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක්ද තැබූ අතර, ජපාන අගමැතිවරයාට ආචාරය පිදීම සඳහා කටුනායක අවට මාර්ග දෙපස ජනතාව පෙළ ගැසී සිටියේය.
ජපාන අගමැතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 24කට පසුවය. ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජතාන්ත්‍රික සබඳතා 1951 වසරේ සැන් ෆ්රැන්සිස්කෝ සාම සන්ධානය අත්සන් කළ වකවානුවේදී පිහිටුවා ගනු ලැබීය.
1952 පෙබරවාරි මාසයේ ජපාන දූත පිරිසක් කොළඹට පැමිණි අතර, 1953 මැයි මස ශ්‍රී ලංකාව ටෝකියෝ හිදී තානාපති කාර්යාලයක් පිහිටුවීය.
1951 දී සැන් ෆ්රැන්සිස්කෝ සාම සන්ධාන සමුළුවට සහභාගි වූ ආසියානු රටවල් 9 අතර, ශ්‍රී ලංකාවද විය. සමුළුවට සහභාගි වූ හිටපු ජනාධිපති (එවකට මුදල් අමාත්‍ය) ජේ.ආර්.ජයවර්ධන මහතා සංවේදී/හැඟුම්බර කතාවක් කළේය.
බුදු රාජාණන් වහන්සේගේ වදන් උපුටා දැක්වූ ජයවර්ධන මහතා වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන්ම වෛරය සන්සිඳේ යනුවෙන් පැවසීය. තවද, ශ්‍රී ලංකාව ජපානනය යුදමය වගකීමෙන් නිදහස් කරන බවද ප්‍රකාශ කළ ඔහු, ජපානය අන්තර්ජාතක ප්‍රජාවගේ සාමාජිකයෙක් ලෙස පිළිගන්නා ලෙස අනෙක් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
යුද්ධය ජයගත් ඇතැම් රටවල් ජපානයට ප්‍රබල සම්බාධක පනවන ලෙස බලකර සිටියත් මෙම කතාව ඔවුන්ට බලපෑම් ඇති කළ බව කියැවෙන අතර, එය පසුව ජපානය අන්තර්ජාතික ප්‍රජාවට අනුගත කිරීෆම් සංකේතාත්මක අවස්ථාවක් ලෙසද සැලකෙයි.
ඒ අනුව, ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජතාන්ත්‍රික සබඳතාවේ 60 වැනි සංවත්සරයද පසුගිය 2012 වසරට යෙදී තිබුණි.