අවි ආයුධ තොගයක්ද සමග අත්අඩංගුවට ගෙන ගාල්ල වරායේ රඳවාගෙන සිටින ‘‘ඇවන්ට් ගාඩ් නෞකාව පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අද (28දා) පෙරවරුවේ ‘‘ඇවන්ට් ගාඩ් නෞකාවට නැගීමට නියමිත බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා රහස් පොලීසිය භාරයේ ගාල්ල වරායේ රඳවාගෙන සිටින ‘‘ඇවන්ට් ගාඩ් නෞකාව පරීක්ෂා කිරීම සඳහා පස්දෙනෙකුගෙන් සමන්විත කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් එහි යෑමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක සහායද මේ සඳහා ලබාගැනීමට කොමිසමේ විමර්ශන නිලධාරීන් කටයුතු කොට ඇත.
‘රක්නා ලංකා සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්ෂණවලදී යුද හමුදාවෙන් ‘‘රක්නා ලංකා ආරක්ෂක සමාගමට ලබාගත් ගිනි අවි සහ පතුරම් ‘‘ඇවන්ට් ගාඩ් සමාගමට විකිණූ බවට කොමිසම හමුවේ කරුණු අනාවරණය විය.
ගාල්ල වරායේ රඳවාගෙන සිටින ‘‘ඇවන්ට් ගාඩ් නෞකාවේ ඇත්තේ එම ගිනිඅවි හා පතුරම්ද නැත්තම් එහි ඇති ගිනිඅවි සහ පතුරම් නීතිවිරෝධී ඒවාද යන්න හෙළිකර ගැනීම අදාළ නෞකාව පරීක්ෂා කිරීමේ අරමුණ බවද වාර්තා වේ.
මේ අතර ඇවන්ට් ගාඩ් නැව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වාර්තාව පෙරේදා (26දා) ගාල්ල ප්රධාන මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය වෙත භාර දුන්නේය.