හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදුකිරීමට බරපතළ වංචා, දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අධිකරණ බලයක් නැති බවට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ (15දා) මතුකළ මූලික විරෝධතාවක් හේතුවෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විභාගය කල් තබන ලදී.
බරපතළ වංචා, දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අධිකරණ බලය සම්බන්ධයෙන් මතුකළ මූලික විරෝධතාව පිළිබඳ නියෝගය අද (16දා) දින ප්‍රකාශයට පත්කරන බව දැනුම්දුන් විනිසුරු මඬුල්ල කොමිසමේ සාක්ෂි විභාග කිරීම කල් තබන ලදී.
පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ප්‍රචාරය කිරීමට ගිවිසගෙන තිබූ දැන්වීම්වලට වඩා රුපියල් කෝටි එකොළහකට වඩා වැඩි දැන්වීම් ප්‍රමාණයක් ප්‍රචාරය කරවාගෙන, ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීම මගින්ද, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරය කිරීමට ගිවිසගෙන තිබූ දැන්වීම්වලට වඩා අඩුවෙන් ප්‍රචාරය කිරීම නිසා ස්වාධීන රූපවාහිනී සේවයට ලැබිය යුතුව තිබූ විශාල මුදලක් අහිමි වීම මගින්ද රජයට පාඩු සිදුවීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරේ.
පසුගිය පාලන සමයේ සිදු වූ බව කියන බරපතළ වංචා හා දූෂණ සෙවීම සඳහා පත්කොට ඇති මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන පී.ඒ. පද්මතිලක මහත්වරු කටයුතු කරති.
මෙම සිද්ධියට අදාළව සාක්ෂි විභාග කිරීම සඳහා මෙම පැමිණිල්ල ඊයේ (15දා) පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.
පසුගිය පාලන සමයේදී ස්වාධීන රූපවාහිනී සේවය තුළ සිදු වූ දූෂණ සහ වංචා ක්‍රියා සම්බන්ධයෙන් එහි හිටපු ප්‍රධාන අභ්‍යන්තර විගණකාධිපති නුවන් මංජුල අලගියවන්න මහතා සිදුකළ පරීක්ෂණයේදී 2014/12/20 වැනිදාත්, 2015/01/07 වැනිදාත් අතර කාලය තුළ බරපතල දූෂණ ක්‍රියා සිදු වී ඇති බවට කොමිසමට පැමිණිලි කොට තිබිණි.
ඒ අනුව සිදුකළ පරීක්ෂණයකදී 2014 දෙසැම්බර් 20 වැනිදාත් 2015 ජනවාරි මස 07 වැනිදාත් අතර පසුගිය ජනාධිපතිවරණ කාලය තුළදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරය කිරීමට ගිවිසගෙන තිබූ දැන්වීම්වලට වඩා රුපියල් කෝටි 10කට අධික වටිනා දැන්වීම් ප්‍රචාරය කරවාගෙන ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ස්වාධීන රූපවාහිනී සේවයට (ITN) නොගෙවූ බව හෙළි වී ඇත.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම් සඳහා අයකළ මුදල මෙන් දෙගුණයක මුදලක් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අය කොට ඇති බවද, එලෙස අය කරමින් ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරය කිරීමට බාරගෙන තිබූ දැන්වීම්වලින් රුපියල් කෝටියකට අධික දැන්වීම් තොගයක් ප්‍රචාරය නොකිරීම නිසා එමගින්ද ස්වාධීන රූපවාහිනියට පාඩු සිදු වී ඇති බවද හෙළි වී ඇත.
මෙම කටයුතු හේතුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයට රුපියල් 112,904,638 ක මූලම්යය පාඩුවක් සිදු වී ඇති බවද, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හා අවභාවිත කිරීම, අධිකාරී බලය පාවිච්චි කර දූෂණ ක්‍රියා සිදුකිරීම හා රාජ්‍ය ආදායම්වලට හා වත්කම්වලට බරපතළ ලෙස අලාභ කොට ඇති බවටද විමර්ශනයේදී තොරතුරු හෙළි වී ඇත.
මේ සඳහා, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හිටපු සභාපති හේවගේ අනුර සිරිවර්ධන, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාමාන්‍යාධිකාරී අරුණ මූර්ති විජේසිංහ, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි ජේ.ඒ. උපාලි රංජිත්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහකාර කළමනාකරු අලෙවි දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ, හිටපු ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් වගකිවයුතු බව හෙළි වී ඇතැයිද වාර්තා වී ඇත.
මෙම කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව මේ සඳහා වගකිවයුතු පුද්ගලයන් මෙන්ම මෙම සිද්ධියට අදාළව සාක්ෂි ලබාගැනීමට අපේක්ෂා කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් හා විද්‍යා හා තාක්ෂණ ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.
කොමිසමේ විභාග කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට අසුන් ගැනීමට වෙන් කර තිබූ අසුනක් ඉවතට ගෙන මහින්ද රාජපක්ෂ මහතාට හිඳගැනීම සඳහා වෙන්කර තැබීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීහු කටයුතු කළහ.
කොමසාරිස්වරුන් විනිශ්ච්යාසනාරූඪ වූ පසු මෙම කොමිසමේ සාක්ෂි විභාග කිරීම ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මූලික විරෝධතාවක් මතුකරමින් තම සේවදායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අදාළව සාක්ෂි විභාග කිරීමට මෙම කොමිසමට අධිකරණ බලයක් නැතැයි පැවසීය.
කොමිසමේ විනිසුරුවරුන් පස් දෙනාගෙන් සිවු දෙනෙකුම සක්‍රිය සේවයේ යෙදී සිටින මහාධිකරණ විනිසුරුවරුන් යැයි කී ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සක්‍රිය සේවයේ නියුතු විනිසුරුවරයෙකු කොමිසමක සාමාජිකයෙකු වශයෙන් පත්කිරීමට බලයක් නැතැයිද කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනී සේවය මගින් ප්රචාරක දැන්වීම් විකාශය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගෙන් අය කළ ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අය කළේය යන්නද මෙම කොමිසම මගින් විමර්ශනය කරනු ලබන එක් කරුණක් බවත්, ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා අගතියට පත් පාර්ශ්වකරුවෙකු ලෙස සැලකිය හැකි බවත් මාරපන මහතා පැවසීය.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද මෙම කොමිසම මගින් මෙම පරීක්ෂණය පැවැත්වීම හරහා %මෙම පරීක්ෂණය මගින් යුක්තිය ඉෂ්ට වනවා පමණක් නොව ඒ බව පෙනෙන්නටද තිබිය යුතුය^ යන මූලික සිද්ධාන්ත උල්ලංඝනය වන බවටද ජනාධිති නීතිඥ ගාමිණී මාරපන මහතා තර්ක කළේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල මත මෙම කොමිසම පත්කොට ඇති හෙයින් මෙම මූලික විරෝධතාව බිඳවැටෙන බව පෙන්වා දුන්නේය.
මෙම කොමිසම නීත්‍යනුකූලව පත්කොට ඇතැයිද, මෙය නීත්‍යනුකූල කොමිසමක් යැයිද කී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙම මූලික විරෝධතාව ඉවත දමා සාක්ෂි විභාග කිරීම ආරම්භ කරන්නැයි ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධතාවක් හේතුවෙන් බරපතළ වංචා සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පරීක්ෂණ සිදුකිරීමේ බලයක් නොමැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මතු කරන තර්කය පිළිගතහොත් ජනාධිපතිවරයෙකු සම්බන්ධ කිසිදු කටයුත්තක් විමර්ශනය කිරීමට ලංකාව තුළ ඇති කිසිදු ආයතනයකට හැකියාව නැති වන්නේ යැයිද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම හමුවේ කියා සිටියේය.
නීතිපති, පොලිස්පති, අගවිනිසුරු ආදී සෑම තනතුරකටම පුද්ගලයන් පත්කොට ඇත්තේ ජනාධිපතිවරයා වන හෙයින් මෙම තර්කය අනුව ජනාධිතිවරයාට අදාළ කිසිදු විමර්ශනයක් සිදුකළ නොහැකි වනු ඇතැයි පෙන්වාදුන් ජනක බණ්ඩාර මහතා තත්ත්වය එසේ වූවා නම් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බවට කොටි සාමාජිකයන් ඇතුළු පිරිසකට එරෙහිව වූ නඩුවද විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි කීය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම මූලික විරෝධතාව පිළිබඳව තීන්දුවක් දීම සඳහා කොමිසමේ කටයුතු විනාඩි 20කට නතර කළ අතර, යළි කොමිසමේ කටයුතු ආරම්භ කළ පසු මේ සම්බන්ධයෙන් තීන්දුවක් දීම අද (16දා) දක්වා කල් තබන ලදී.
කෙසේ නමුත් සාක්ෂිකරුවන් පැමිණ සිටියදීත් සාක්ෂි විමසීමට නොහැකිව කටයුතු කල් දැමීමට සිදුවීම පිළිබඳව විනිසුරු මඬුල්ල සිය කනස්සල්ල පළකළේය.