ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු සඳහා විහාරස්ථාන 5000 ක් හරහා ඡන්ද ලක්ෂ 50 ක් නිර්මාණය කිරීමේ කටයුත්තට බොදුබල සේනා සංවිධානය අතගසන බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (28දා) අවධාරණය කළහ.
ඊට අමතරව උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවලින් හින්දු සහ මුස්ලිම් ජනයාගෙන් තවත් ඡන්ද ලක්ෂ 15 ක් නිර්මාණය කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 'දැය නගන මග' මැයින් අද පැවැත්වූ බොදුබල සේනා සංවිධානයේ ජාතික සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඥානසාර හිමියෝ මේ බව පැවසූහ.
බෞද්ධයා පීඩාවට පත්කරමින් නැග එන අන්තවාදී සංවිධානවලින් ඔවුන් ගලවා ගනිමින්, එම සංවිධානවලට වැට බැඳීමට කටයුතු කරන, බෞද්ධ ප්‍රතිපත්ති මත රාජ්‍ය පාලනය කරමින් මේ රට සිංහල බෞද්ධ රටක් සේ සලකන නායකයෙකු, දැනට ඇති කුමන දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වුවහොත් ඔහු හෝ ඇය ජයග්‍රහණය කරවීමට සූදානම් බව උන්වහන්සේ පවසා සිටියහ.
එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියෝ,
“මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, අනුරකුමාර දිසානායක හෝ වෙන ඕනෑ කෙනෙක් ආවදෙන්. ඔවුන් බලයට පත්කිරීමේ බලය තියෙන්නෙ අපිටයි. මෙච්චර කාලයක් හොර තක්කඩි කල්ලි විසින් පාලකයන් බලයට ගෙන ආපු ක්‍රමය අපි වෙනස් කරනවා. නිල්පාට, කොළපාට, රතුපාට කණ්ණාඩි ගලවලා සිංහල බෞද්ධ ධජය විතරක් ගන්න ඕනෑ. සිංහල බෞද්ධ රාජ්‍යයක් මේ රට තුළ ගොඩනගන්නයි අපි මේ හදන්නෙ. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, ඔක්කෝම නැගිටපල්ලා, හැරිලා බලපල්ලා සිංහල බෞද්ධයාට වෙලා තියෙන විනාශය. පක්ෂ වශයෙන් බෙදී වෙන්වෙලා හිටියා ඇති. අපේ නායකයා ඩී.එස්. සේනානායක නෙවෙයි. බණ්ඩාරනායක නෙමෙයි. කාල් මාක්ස්, ලෙනින් නෙවේ. බුදුහාමුදුරුවොයි අපේ නායකයා. අපි රට වෙනස් කරන්න ලැහැස්තියි. කරුණාකරලා උඹලා වෙනස් වෙයල්ලා. එහෙම නොවුණොත් අපි ඒකටත් ලෑස්තියි. ලංකාවේ ගම්මාන 25,287 ක් තියෙනවා. ඒ හැම එකකම පන්සලක් තිබුණට ලියාපදිංචි පන්සල් 12,000 ක් තියෙනවා. මේ අතරින් අදීන බුද්ධ චීවරය අනුව කටයුතු කරන පන්සල් 5000 ක් විතර ඇති. ඒ එක පන්සලකින් සිංහල බෞද්ධයො 1000 ගාණේ ඡන්ද ලක්ෂ 50 ක් හදන්න පුළුවන්. බලමු කවුද දිනන්නෙ කියලා. මේ වෙනස අපි කරමු. අරාජික වුණු ජාතියට අපි නායකයෙක් හදමු. ඒක කරන්න පුළුවන් අපිට විතරයි" යැයි පැවසූහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු