ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේදී රුසියාව විසින් සිදුකළේ යැයි කියන සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට ජනපති බරැක් ඔබාමා විධාන ලබාදී තිබේ.
විශේෂයෙන්ම මැතිවරණය සමයේදී හිලරි ක්ලින්ටන් නියෝජනය කළ ඩිමොක්රටික් පක්ෂයේ මෙන්ම ඇගේ ප්‍රධාන සහායකයාගේ ඊමේල් පණිවුඩ හැක් කිරීම සම්බන්ධයෙන් රුසියාව චෝදනා ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ඇමෙරිකානු රජය විසින් රුසියාව වෙත චෝදනා එල්ල කරමින් කියා සිටියේ ඔවුන් ඇමෙරිකානු මැතිවරණයට අනවශ්‍ය බලපෑමක් සිදුකළ බවයි.
මේ අතර, රුසියාව හිතමතාම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහාය දැක්වීමේ බලාපොරොත්තුවෙන් මෙවැනි අතපෙවීමක් සිදුකර ඇති බව සී.අයි.ඒ. වාර්තාවක් දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතද විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන් තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ මෙවැනි චෝදනා කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
එමෙන්ම, ටයිම් සඟරාව වෙතද අදහස් දක්වමින් පසුගිය සතියේදී ට්‍රම්ප් පවසා තිබුණේ තමන් එවැනි දෙයක් සිදුවූ බව විශ්වාස නොකරන බවයි. විශේෂයෙන්ම රුසියාව මෙවර මැතිවරණයට මැදිහත් වූයේ යැයි යන අදහස තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ට්‍රම්ප් අවධාරණය කරයි.
එහිදී, ට්‍රම්ප් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් ඇමෙරිකානු මැතිවරණය වෙත රුසියාව ඈඳා ගැනීම දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන්නක් විනා සැබෑ තත්ත්වයක් නොවන බවයි.