ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් විදේශ සංචාර සඳහා රටින් බැහැර වන්නේ නම් තමාගෙන් පෞද්ගලිකවම පූර්ණ අනුමැතිය ලබාගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව විදේශ සංචාර සඳහා රටින් බැහැර වීමට සති දෙකකට පෙර මේ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු බවත් ලිඛිතවම අනුමැතිය ලබාගත යුතු බවටත් ජනාධිපතිවරයා නියෝග කර ඇත.රජයේ අරමුදල් සහ විදේශ ව්‍යාපෘති මගින් ලැබෙන අරමුදල් යොදා ගනිමින් ඇතැම් විට කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරවල යෙදෙන බව නිරීක්ෂණය වී ඇති බැවින් ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
එමෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු තුළ තීරණ ගැනීමට සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ඒ සඳහා සහභාගි වීම අනිවාර්ය වන බැවින් පෞද්ගලික විදෙස් සංචාර සඳහා සහභාගි වුවද ඒ සඳහාද ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව ජනාධිපතිවරයා ලිපිය මගින් සියලුම මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.
රජයේ අරමුදල් වැය කිරීමේදී අරපරිස්සමින් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම සියලුම මහජන නියෝජිතයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වන බැවින් ඒ සඳහා වන චක්‍රලේඛ උපදෙස් සියලුම රාජ්‍ය ආයතන වෙත නිකුත් කර තිබුණද එම උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.
විශේෂයෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ද, රජයේ නිලධාරීන්ද රජයේ අරමුදල් සහ විදේශ ව්‍යාපෘති මගින් ලැබෙන අරමුදල් යොදාගනිමින් ඇතැම් විට කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරවල යෙදෙන බව නිරීක්ෂණය වී ඇති අතර රජයේ අරමුදල්, විශේෂයෙන්ම විදේශීය ප්‍රදාන හා විදේශීය ණය මුදල් ඵලදායීව භාවිත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් විදේශ සංචාරවල නිරත වීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.