ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව චූදිතයන් අතට පත් කර එහි කරුණු වෙනස් කළ බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් මගින් තොරතුරු ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ඊයේ(16දා) පැවසීය.
එම වාර්තාවෙහි අකුරක් හෝ වෙනස් කර තිබුණහොත් ප්රජාතත්ත්රවාදී බලවේග සමග එක්ව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
කොමිෂන් සභා වාර්තාව මගින් ඉදිරිපත් කළ නිර්දේශ වෙනස් කර චූදිතයන්ට නීතියෙන් දැලෙන් රිංගා යා හැකි ආකාරයට පසුගිය දිනවලදී විවිධ වෙනස්කම් සිදුකර තිබෙන බවත්, එවැනි පාපකර්මයකට හවුල් වී ජනතා අධිකරණය හමුවේ වරදකරුවෙකු නොවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා,
“කොමිෂන් සභාවේ වාර්තාව එළිදැක්වූවාට ජනාධිපතිවරයා පළමුව කළ යුතුව තිබුණේ කුමක්ද? මේ රටේ ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය පවරා දෙනු ලැබූ එක් උත්තරීතර ආයතනයක් වූ ද, මේ රටේ මූල්‍ය පාලනය හිමිව ඇත්තා වූ ද පාර්ලිමේන්තුව වෙත පිළිගැන්වීමයි. නමුත් එය සිදු වූයේ නැහැ. මෙම වාර්තාව ජනාධිපතිවරයා අතට පත් වූයේ 2017 දෙසැම්බර් 31 වැනිදායි. පසුගිය ජනවාරි 10 වැනිදා පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව කථානායකවරයා විසින් කැඳවා තිබුණත් ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තම ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබුණේ නැහැ.
මෙම කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් ජනාධිපතිවරයා විසින් පසුගියදා පෙන්වා දුන්නේ හිටපු මුදල් අමාත්‍යවරයා වූ රවි කරුණානායකට එරෙහිව කොමිසම මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති බවයි. පළමු නිර්දේශය, අර්ජුන ඇලෝසියස්ගෙන් පෙන්ට් හවුස් නිවාස සංකීර්ණයෙහි නිවසක් සඳහා කුලී මුදල් ලබාගැනීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හරහා නඩු පවරන ලෙසයි. දෙවැනි නිර්දේශය, ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම නම් සාපරාධී කටයුත්තට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන ලෙසයි. නමුත් දැන් මේ නිර්දේශ නිකුත් වී දින 17යි. රවි කරුණානායක නිදැල්ලේ ඉන්නවා. ඒ විතරක් නොවෙයි මේ කොමිෂන් සභා වාර්තාව අගමැතිතුමන්ට සහ තමන්ට ලැබුණු බවත් කියනවා* යනුවෙන් පවසා සිටියේය.