සෝභිත නාහිමියන්ගේ ගුණසැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා කළ ප්රකාශයේ සැඟවී ඇත්තේ වසර තුනක් තිස්සේ විධායක ජනාධිපති ධුරය දැරූවත් රටට දැනෙන වැඩක් කිරීමට නොහැකි වීමේ අදෝනාව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පැවසීය.
එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී හිමිවන නිසැක පරාජය හමුවේ වියරු වැටී මරුවිකල්ලෙන් කියවන මෙවැනි ප්රකාශ ගණන් ගත යුතු නැතිවා මෙන්ම මෙවැනි ප්රකාශ කිරීමෙන් තම වගකීම අනෙක් අය පිට පටවා අතපිහදා ගන්නට ජනාධිපතිවරයාට නොහැකි බවද ඒ මහතා ප්රකාශ කර සිටියේය.
හෙතෙම මෙම අදහස් පළ කළේ දිවංගත රෙජී රණතුංග මහතාගේ දහවැනි ගුණ සමරුව නිමිත්තෙන් පැවැති පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට අද (31දා) එක්වෙමිනි.
" තව මාස පහළොවකින් පමණ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව නිසැකවම පරාජයට පත්වීමට නියමිතයි. ඒ නිසැක පරාජය දැක මරුවිකල්ලෙන් කරන ප්රකාශ ලෙස මම මේ ප්රකාශය අර්ථකතනය කරනවා.
ඒ වගේම ජනාධිපතිවරයා එතැනදී කරපු කතාව ගත්තොත් වසර තුනක් ගෙවිලත් රට වෙනුවෙන් වැඩක් කරගන්න බැරි වීමේ අදෝනාවක් ඒ ප්රකාශය තුළ හැංගිලා තියෙනව බව අපට පැහැදිලි වෙනවා . විශේෂයෙන්ම ඒ මහතා දින සියය කියන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. අපිට එතුමගෙන් පෙරළා අහන්න තියෙන්නේ තමන්ගේ ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශයවත් මතක නැති ජනාධිපතිවරයෙක්ද අද අපේ රට පාලනය කරන්නේ කියලා විතරයි.
දින සියය කියලා ප්රතිපත්ති ප්රකාශනයක් මැතිවරණ වේදිකා ගාණේ කිය කියා ගියේ මෛත්රීපාල මහත්තයාම මිසක් අපි නෙමෙයි. ජනාධිපතිවරයා මේ උත්සාහ ගන්නේ 2015 සිට රට සිදුවුණ විනාශය වෙන වෙන අයගේ කරේ ගහලා තමන්ගේ ඇඟ බේරාගන්න මිසක් වෙන එකක් නෙමෙයි. හැබැයි අවුරුදු තුනක් තිස්සේ විධායක ජනාධිපති ධූරය දරපු කෙනාට මේ වගකීමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ජනතාව එහෙම ගැලවෙන්න ඉඩ දෙන එකකුත් නැහැ.
වියරු වැටුණු අය මොන මොන කතා කිව්වත් 2019 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කරලා 2020 දී රට භාර ගන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ලත් කණ්ඩායම බව පැහැදිලියි."
දිවංගත රෙජී රණතුංග මහතා සමරමින් පෙරේදා (30දා) ප්රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොළ නිවසේදී සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි.
මෙම අවස්ථාවට රණතුංග පවුලේ ඥාති මිත්රාදීන් විශාල පිරිසක් සහභාගිව සිටි අතර, පරිත්රාණ ධර්ම දේශනාවට සහභාගි වීම සඳහා අර්ජුන රණතුංග ඇමැතිවරයාද පැමිණ සිටියේය. අර්ජුන රණතුංග මහතා ප්රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවැති රෙජී රණතුංග මහතාගේ ගුණසැමරුමකට එක්වූයේ වසර කිහිපයකට පසුවය.
මීරිගම - කාන්ති / ගම්පහ - තිලකරත්න දිසානායක