තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා අවස්ථාවේ දී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරය බාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධයෙන් පුදුමයට පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.
ඊයේ දිනයේ (24දා) ඉන්දියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගය අවසානයේ දී සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත් අතර ඒ වෙනුවෙන් පැවති උත්සවයේ දී ජනාධිපතිවරයා මේ ආරාධනාව සංගක්කාර වෙත යොමු කළේය.
"මම ඒක අහද්දි පුදුම වුණා. ඒ සම්බන්ධයෙන් මගේ අත්දැකීම් හරි අඩුයි. ඒ ගැන තවදුරටත්හිතලා ජනාධිපතිතුමත් එක්ක කතා කරලා තීරණයක් ගන්නවා..." යැයි ඊයේ තරගයෙන් අනතුරව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී සංගක්කාර පැවසීය.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ දී ජනාධිපතිවරයා සහ සංගක්කාර අතර මේ සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත් වුණි. මේ පිළිබඳව සංගක්කාරගේ සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තනතුර වෙනුවෙන් කැපවී සේවය කිරීමට අවශ්‍ය කාලය මේ අවස්ථාවේ සොයා ගැනීම සංගක්කාර මහතාට දුෂ්කර වී ඇති බවයි. තවත් වසර දෙකක පමණ කාලයක් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට සංගක්කාරගේ ඇති අවශ්‍යතාව ඉන්එකකි. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම නිසා සම්පූර්ණ කිරීමට නොහැකි වූ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම ද ඔහුගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබේ.
මේ අතර එංගලන්ත ප්‍රන්ත තරගාවලියේ සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම සමග යළි එක්වීම සඳහා ඔහු අද (25දා) දිනයේ දී යළි එංගලන්තය බලා යෑමට නියමිතය.