ජනාධිපති මන්දිරයේ භූගත බංකරය පිළිබඳව තොරතුරු හෙළිකර ඉන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම හෙළාදකින බව ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පැවසීය.
රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස බලපාන මෙම තොරතුරු හෙළිකිරීමෙන් රටට කිසිදු යහපතක් සිදුනොවන බවද ඔහු පෙන්වාදුන්නේය.
මෙම තොරතුරු හෙළිකිරීම පසුගිය ජනාධිපතිවරණයේදි කරලියට පැමිණි රනිල් ටී.එන්.ඒ. ගිවිසුමේ තවත් කොන්දේසියක් ඉටුකිරීමක්දැයි සැක මතුවන බවද රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියි.
මිනුවන්ගොඩ, උඩුගම්පළ ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද (27දා) පැවති ක්රියාකාරී හමුවකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
"ආරක්ෂක උපක්රමයක් විදිහට හදපු ජනාධිපති මන්දිරයේ භූගත බංකරය ආණ්ඩුව ප්රසිද්ධ කරන්නෙ හරියට භයානක තස්ත්රවාදියෙකුගේ බංකරයක් හොයාගත්තා වගේ. මේ භුගත බංකරය පිළිබඳව තොරතුරු හෙළිකිරීම රාජ්ය ආරක්ෂාවට බරපතළ තර්ජනයක්. එය බලපාන්නේ අනාගතයටයි.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීම සඳහා රට තුළ බොරු වැපිරුවා. අපේ ජනතාවත් මේ බොරුවලට අහුවුණා. දැන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා කියු බොරු අතේ පත්තුවෙලා. මේ දෙමුහුන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ ගලේ පැහැරූ බලළාට සිදුවූ දේ." යැයි මන්ත්රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.