ඒකාධිපති වියරුව පැරදවීමට සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවත්, එහිදී පක්ෂයේ අරමුණු ජයග්‍රහණය කරගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය නොදෙන ලෙසත්, මහින්ද රාජපක්ෂ හැර ඕනෑම කෙනෙකුට කතිරය ගසන ලෙසත් නිශ්චිතව ජනතාව දැනුම්වත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ දී කවුරුන් හෝ අපේක්ෂකයෙකු දිනවීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ එක වේදිකාවක සිට කටයුතු නොකළත්, මැතිවරණ සමය තුළදී සාධාරණ මැතිවරණයක් දිනා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට එරෙහිව යම් යම් අවස්ථාවල එකට වැඩ කළ හැකි බව ද දිසානායක මහතා සඳහන් කරයි.
ඊයේ (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා යන ගමනේදී තම පක්ෂයට ප්රජාතන්ත්රවාදය සහ එම ව්‍යුහයන් ශක්තිමත් කිරීමට සහ ප්‍රතිසංස්කරණය සඳහා කළයුතු අරගලයකට මැදිහත් වීමට අවශ්‍ය බවය.
මේ නිසා ජනාධිපතිවරණයේදී කවුරුන් හෝ අපේක්ෂකයෙකු දිනවීම පිළිබඳව කිසිදු අපේක්ෂකයෙකු සමග කොන්දේසියක් දමාගෙන නොමැති බවද පක්ෂ නායකවරයා පවසා සිටියේය.
එහෙත් ඒකාධිපති වියරුව පැරදවීමට සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසීමට පක්ෂය කටයුතු කරන බවත්, එහිදී පක්ෂයේ අරමුණු ජයග්‍රහණය කරගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය නොදෙන ලෙසත්, මහින්ද රාජපක්ෂ හැර ඕනෑම කෙනෙකුට කතිරය ගසන ලෙසත් නිශ්චිතව ජනතාව දැනුවත් කරන බවද ඒ මහතා පැවසීය.