පසුගියදා ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විනාශයට පත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ප්‍රදේශයේ අද (05දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පාහියන්ගල කන්ද නාය ගොස් නාගහදොළ ගංගාව අවහිරවීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය පිළිබඳව හා පස් කඩාවැටීම හේතුවෙන් අවහිරවූ නාගහදොළ ගඟ නැවත පිළිසකර කිරීම පිළිබඳවද කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාට මෙන්ම අදාළ නිලධාරින්ට මෙහිදී උපදෙස් දුන්නේය.
ආපදාවට ලක්වූ පවුල්වල පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම ජනතාවගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
ප්‍රදේශයේ විනාශයට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීම සඳහා අවශ්‍ය ඉඩම් මේ වනවිට හඳුනාගෙන තිබෙන අතර නැවත පදිංචි කිරීම් සඳහා එම ඉඩම් සුදුසු බවට නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු එම පදිංචි කිරීම් කඩිනම් කිරීමටද ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියෝ, අමාත්‍ය මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
කෙසේ වෙතත් එම අවස්ථාවට බුලත්සිංහල එජාප ආසන සංවිධයක මෙන්ම ආපදා තත්ත්වයේන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිය සේවය නොපිරිහෙලා ඉටුකළ පාලිත තෙවරප්පෙරුම මහත එක්ව නොසිටියේය. ඒ සඳහා හේතුව කුමක්දැයි වාර්තා නොවෙයි.