ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ කවදාදැයි ඇතැමුන් ප්‍රශ්න කළත් තමන් ජනාධිපති ධූරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබාදීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමග පාරට බැසීමට වුවද සූදානම් බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ඊයේ (18) පස්වරුවේ කොස්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දේශපාලන බේදයකින් තොරව රටට ආදරය කරන සියලු දේශපාලනඥයින් එක්කර ගනිමින් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඊට එක්වන ලෙස මේ රටේ සියලු ආගමික නායකයින්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම රටට ආදරය කරන සියලු ජනතාවට ආරාධනා කරන බවත් පැවැසීය.
2015 ජනවාරි 08 වනදා සිදුවූ වරද නිවැරදි කිරීමට ආපසු හැරෙන්නැයි හිටපු නායකයින් මේ රට් ජනතාවගෙන් කරන ඉල්ලීම පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ ආපසු හැරෙන ලෙස ඔවුන් ඉල්ලන්නේ දුෂිත පාලනයක් මෙන්ම අතුරුදන්වීම්, මිනිස් ඝාතන, මාධ්‍යවේදින් මරා දැමීම සහ මාධ්‍ය ආයතන ගිනිගත් යුගයක් යළිත් මේ රටේ නිර්මාණය කිරීමට නොවේදැයි ප්‍රශ්න කළේය.
එමෙන්ම පැවති පාලනය සහ හිටපු නායකයින් ගැන ජාත්‍යන්තරයේ ඇති සහතික මැකී ගොස් නොමැති බවත් යළිත් ජාත්‍යන්තරය හමුවේ ශී‍්‍ර ලංකාව අසරණ කර රටේත් ජනතාවගේත් අනාගය අදුරු කරන ඔවුන්ගේ වැඩපිළිවෙළ සමග ආපසු හැරීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.