පසුගිය ආණ්ඩුව සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සුඛෝපභෝගී වාහන 08ක් මිලදී ගෙන රජයට මිලියන ගණනාවක් අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් ඩී.එස්.ගුණරත්න හා හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඒ.එල්.ඩී. ගුණරත්න යන මහත්වරුන් අද (24දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.
අයථා මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති කාර්යාල ප්‍රධානී රංජන් ධර්මවර්ධන මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්විණි.
2010 වසරේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ලබාදීම සඳහා කයිරොන් හා රෙක්සිටොන් නමැති මෝටර් රථ ප්‍රධාන නියෝජිතවරයාගෙන් මිලට නොගෙන එම මෝටර් රථයේ වටිනාකම මෙන් දෙගුණයක මුදල් වැයකර වෙනත් ආයතනයක් මගින් මිලට ගෙන ඇතැයි සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම ප්‍රධාන නියෝජිතවරයාගෙන් එම වාහනය වෙළෙඳ පොළේ මිලට ලබාගෙන තිබූ ඔවුන්, නම් කරන ලද නියෝජිත ආයතනයට අනතුරුව රුපියල් ලක්ෂ හතළිහක වටිනාකමින් යුත් වාහනයට රුපියල් ලක්ෂ අසූතුනක් වශයෙන් හා රුපියල් ලක්ෂ හැත්තෑවකි වාහනයට රුපියල් ලක්ෂ එකසිය දෙකක මුදලක් ගෙවා මිලදී ගෙන ඇතැයි මෙතෙක් කරන ලද පරික්ෂණවලදී සොයාගත් ලිපි ලේඛනවලින් පැහැදිලි වූ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ උසස් නිලධාරියෙක් පවසා සිටියේය.
මෙම මූල්‍ය වංචාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු උපදෙස් ලබා දී ඇති බවටද මූලික විමර්ශනවලදී අනාවරණයි වී ඇත.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 18 වැනිදා හිටපු ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
බිමල් ශ්‍යාමන්