ඊශ්‍රායලයේ නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (9දා) ජෙරුසලම් නුවර ජනාධිපති කාර්යාලයේදී ඊශ්‍රායල් ජනාධිපති ෂිමොන් පෙරෙස් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
මැදපෙරදිග රාජ්‍යයන් තුනක සිදුකළ සංචාරයේ අවසන් අදියර ලෙස ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා ධූත පිරිස පෙරේදා ජෙරුසලම වෙත ළඟාවීය.
රාජ්‍ය නායකයන්ගේ සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඊශ්‍රායල් ජනාධිපතිවරයා පවසා සිටියේ, රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ඉතා ආකර්ශනීය වාර්තාවක් බවය. දශක තුනකට ආසන්න ත්‍රස්තවාදී යුද්ධයේ අවසානයෙන් පසු සංවර්ධනය හා සමගි සන්ධානය අතින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියද ඊශ්‍රායල් ජනාධිපතිවරයාගේ ප්‍රසාදයට ලක්විය.
පොහොසත් ඉතිහාසයක් සමග ඉතා බුද්ධිමත් ජනතාවක් ශ්‍රී ලංකාව සතුව ඇතැයි පැවසූ ඊශ්‍රායල් ජනාධිපතිවරයා, ධනාත්මක ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවද සඳහන් කළේය.
ඊශ්‍රායල්-පලස්තීන ගැටුමට විසඳුමක් ලෙස රාජ්‍යයන් දෙකක් බිහිකිරීමේ එක්සත් ජාතීන්ගේ නිර්දේශයට ශ්‍රී ලංකාවේ සහයෝගය ලැබෙන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, "අප සෑම විටම සාමයට උදව් කරනවා. අප සෑම විටම රාජ්‍යයන් දෙකේ ප්‍රතිපත්තියට සහාය දුන්නා. සියලු ජනතාවන් උදෙසා සාමය සහතික කිරීමට අපේ සහාය ලැබෙනවා" යැයි වැඩිදුරත් සඳහන් කළේය.
ජෙරුසලම් නුවර ජාතීන්ගේ වනෝද්‍යානය වෙත ගිය ජනාධිපති රාජපක්ෂ මහතා සිය චාරිකාව සිහිවනු පිණිස එහි ඔලිව් පැලයක් රෝපණය කිරීමටද අමතක නොකළේය.