ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි කියන ඉන්දුනීසියාවේ ජකර්තා ආණ්ඩුකාරවරයාට එරෙහිව, එම නගරයේදී සිකුරාදා දේව මෙහෙයෙන් පසුව 200,000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
බසුකි ටජ්හජා පූර්නමා හෙවත් අහොක් යනුවෙන් හඳුන්වන මෙම ආණ්ඩුකාරවරයා චීන සම්භවයක් සහිත කිතුණුවෙකි.
මැතිවරණ ව්‍යාපාරය සමයේදී ඉස්ලාම් දහමට අපහාස කළ බවට ඔහුට චෝදනා එල්ල වන අතර, ඉන්දුනීසියානු අභිචෝදකයන්ද කියා සිටියේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් පවතින බවයි.
ඉන්දුනීසියානු ජනතාවගෙන් 1% ක් පමණ නියෝජනය කරන චීන සම්භවයක් සහිත කිතුණුවෙකු වූ අහොක්ගේ වඩාත් සමීපතමයෙකු ලෙස සැලකෙන වත්මන් ජනපති ජෝකෝ විඩෝඩෝද මෙම විරෝධතා ව්‍යාපාරය වෙත පැමිණ සිටීම විමතිය දනවන්නක් වී තිබේ.
කෙසේ වෙතත්, අද පැවති විරෝධතා රැලිය පසුගිය මාසයේ 4 වැනිදා පැවති රැලිය තරම් උණුසුම් ස්වභාවයක් ගෙන නොමැති අතර, එහි සංවිධායකයන් පවසා ඇත්තේ මෙය වත්මන් ආණ්ඩුකාරවරයා ඉවත් කරන ලෙස හා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට බල කෙරෙන්නක් බවයි.