ව්‍යාජ වීසා මගින් ඉතාලියට යාමට ගිය තරුණයෙකුගේ ජංගම දුරකථන දෙකක් කටුනායක ගුවන්තොටුපොළේදී අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුගිය 19 වැනිදා මෙම තරුණයා අබුඩාබි හරහා ඉතාලියට යාමට මෙරටින් පිටත්ව ගොස් ඇත. අබුඩාබි ගුවන්තොටුපොළේදී ඔහුගේ වීසා ව්‍යාජ බව දැන එරටින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.
පසුව ගුවන්තොටුපොළේ රහස් කැමරා පරීක්ෂා කරද්දී සැකකරු අත ජංගම දුරකථන දෙකක් තිබුණ බවට අනාවරණය කරගෙන ඇත. ඔහු ඉන් එක් දුරකථනයකින් කතා කරමින් පැමිණෙන දර්ශනද එහි සටහන්ව ඇති බව වාර්තා වෙයි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජංගම දුරකථන දෙක අස්ථානගත වීම පිළිබඳව විමර්ශනයක් අරඹා ඇත.
ඉන් පැය 24 කට පමණ පසුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධරියෙකු විසින් එම ජංගම දුරකථන ආගමන විගමන අංශයේ ලාච්චුවක දමා ගොස් ඇති බව පවසා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.
ඔහු අත තිබූ ජංගම දුරකථන අසුවුවහොත් ඒ ඔස්සේ ජාවාරම්කරුවන් අසුවන බැවින් තැරැව්කරුවෙකුගේ මෙහෙයවීම මත අදාළ දුරකථන අස්ථානගත කරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.