ඡන්දදායකයන් 6 දෙනෙකු විසින් සීමා නිර්ණය පිළිබඳ සමාලෝචන කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීම සඳහා වන අලුත්ම උපක්‍රමය ලෙස සැලකිය හැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (16දා) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ
අශෝක පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව බල රහිත කරන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා ඇත්තේ 2017 නොවැ. 10 දිනය. එහි පැමිණිලිකරුගේ පිටපත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 2017 නොවැ. 13 දින ලැබී තිබුණි. පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එම නඩුව නොවැ. 13, 14, 15 දිනයන්ගෙන් එකක විභාගයට ගන්නා ලෙසයි.
පුදුමයකට මෙන් මෙම නඩුවේ වගඋත්තරකරුවන් බවට පත්කොට ඇති පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යවරයා මෙම නඩුව පිළිබඳව 2017 නොවැ. 15 දින දහවල් දක්වා නීතිපතිවරයාට දැනුම්දීමක් සිදුකර නොතිබුණි.
එයටත් වඩා පුදුමය වී ඇත්තේ නොවැ. 13 දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරිනී ගයනී මහත්මිය විදේශගත වීමය. (පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍රයට අමාත්‍යවරයා අත්සන් තිබීමෙන් පසුව මුද්‍රණාලයාධිපතිවරයාගෙන් එහි සෝදුපත් ඉල්ලා සිටි කමල් පද්මසිරි ලේකම්වරයාද මෙලෙසම විදේශගත වූයේ සෝදුපත් බැලීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් තොරවය.) ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා සහ කමල් පද්මසිරි ලේකම්වරයා පමණක් වගඋත්තරකරුවන් කර ඇති මෙම නඩුව පිළිබඳ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් පවා ඊයේ වනතුරු කිසිවක් නොදනී.
මෙම නඩුවේ පෙත්සම්කරුවන් ලෙස කටයුතු කරන්නේ ශ්‍රී.ල.නි.පයේ එක් කණ්ඩායමක් සමීපව ඇසුරු කරන මහනුවර, හාලිඇළ, ඇඹිලිපිටිය, දෙණියාය පදිංචිකරුවන්ය.
මෙම නඩුවෙන් ඉල්ලා ඇත්තේ අශෝක පීරිස් සීමා නිර්ණය සමාලෝචන කමිටු වාර්තාව මත පදනම්ව ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද 2017 පෙබ. 17 ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසයි. අශෝක පීරිස් කමිටුවට බහු ආසන ඇති කිරීම, වෙනස් කිරීම සඳහා බලයක් නොමැති බව පෙත්සමින් කියවේ.
අශෝක පීරිස් කමිටු වාර්තාව නිකුත්වී මාස 9ක් ගතවීමෙන් පසුව ඉදිරිපත් වූ මෙම පෙත්සම ඡන්දදායක අයිතිය සුරැකීමට වඩා ඡන්දය කල් දමාගැනීමේ උත්සාහයකට වඩාත් සමීප බවට ඇති මතය බැහැර කළ නොහැකිය.