විවිධ චෝදනාවලට ලක් වූ පුද්ගලයන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත්වේදැයි යන්න පිළිබඳව ‘බී.බී.සී. සිංහල සංදේශය’ යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එය ඒ ඒ දේශපාලන පක්ෂවල මූලික වගකීමක් වන බවයි.
එසේම තමාට එන යෝජනා පිළිබඳව අවධානය යොමුකරමින් සුදුසු හා නුසුදුසු පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කරන බවද ජනපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා ඇත.
Q කැබිනට් මණ්ඩලය තුළට චෝදනාවලට ලක්වූවන්ට පිවිසෙන්න අවස්ථාවක් තියෙනවද?
A ඒක තම තමන්ගේ දෙශපාලන පක්ෂවල මූලික කාර්යයක්, වගකීමක්.
Q නමුත් අවසානයේදී ඔබතුමාට වගකීම පැවැරෙනවා?
A මම ගාවට එන යෝජනාවලදී මම සොයා බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද නුසුදුසුද කියන එක පිළිබඳව. ඒක මගේ වගකීමක්. ඒ අනුව මම තීන්දු තීරණ ගන්නවා. මෙය පැහැදිලිව රටට ජනතාවට විශ්වාස කළ හැකි ඇමති මණ්ඩලයක් වෙන්න ඕන.
Q ඒ කියන්නේ ඔබතුමා චෝදනාවලට ලක් වූ අය නැවත ඇමති මණ්ඩලයට ඇතුළත් කර ගන්නේ නෑ?
A නෑ. ඔය චෝදනාවලට ලක්වෙච්ච කිවුවට අපට එකපාරටම කියන්න බෑ ඔය කවුරු ගැනද කියන්නේ කියලා. ඒ එන යෝජනා අනුව තමා අපිට තීන්දු තීරණ ගන්න වෙන්නේ.