හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ සහන ගිවිසුම අත්සන් කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කැබිනට් මණ්ඩල සමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව අදාළ ගිවිසුම සකස්කර ඇති බවට කැබිනට් මණ්ඩලය තුළින් පැමිණි විරෝධතාව හේතුවෙන් මෙලෙස එය කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(28දා) රැස්වූ කැබිනට් මණ්ඩලයට හම්බන්තොට වරාය පිළිබඳ සහන ගිවිසුම ඉදිරිපත් කර ඇත්තේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසිනි.
ගිවිසුමක් සකස්කිරීමේදී අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ අදහස්ද විමසා ගිවිසුම් සකස්කරන ලෙස ජනාධිපතිවරයා මීට පෙර අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇති අතර, මෙම සහන ගිවිසුමේදී එය අනුගමනය නොකිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.
එමෙන්ම වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇත්තේ මේසම්බන්ධයෙන් කිසිවක් තමාගෙන් නොවිමසූ බවයි.
එමෙන්ම මීට පෙර හම්බන්තොට වරාය සම්බන්ධ මූලික ගිවිසුම්වලට එළඹීමේදීද අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු ගිවිසුම්වලට අත්සන් කළ අතර, එහිදීද වරාය අධිකාරියෙන් හෝ අමාත්‍යවරයාගෙන් නොවිමසා කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී දැනුම්දී ඇත.
අදාළ සහන ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එය කල්දැමීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇත.
එමෙන්ම අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි මෙහිදී පක්ෂ දෙකෙහිම අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.