18 වැනි ශතවර්ෂයට අයත් චීන අධිරාජ්‍යයේ නිල මුද්‍රාවක් ඇ.ඩො.මිලියන 22ක වාර්තාගත වටිනාකමකට වෙන්දේසි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ශ්‍රී ලංකා මුදලින් එය ආසන්න වශයෙන් රු.කෝටි 330ක පමණ වටිනාකමක් වන අතර, මෙය එම මුද්‍රාව වෙනුවෙන් වෙන්දේසිකරුවන් බාලාපොරොත්තු වූ අගයට වඩා 20 ගුණයක වටිනාකමක් බවද කියැවෙයි.
අත්ලක ප්‍රමාණයෙන් යුතු මෙම මුද්‍රාව රතු හා සුදු වර්ණයෙන් යුතු විශේෂ පාශාණයකින් නිර්මාණය කර තිබුණි.
චීනයේ දීර්ඝ කාලයක් රජකම් කළ ෂියෑන්ලොන්ග් අධිරාජ්‍යයාට අයත් වූ නිල මුද්‍රා සිය ගණන අතුරින් එකක් ලෙස මෙම සුවිශේෂී මුද්‍රාව සැලකෙයි.
ඩ්රොආට් වෙන්දේසිකරුවන් විසින් බදාදා දිනයේදී, පැරීසියේදී පැවැත්වූ අතිශය උණුසුම් වෙන්දේසියකින් පසුව නම සඳහන් නොකළ චීන ජාතිකයෙකු විසින් ඇ.ඩො.මිලියන 22ක මුදලක් (රු.කෝටි. 330ක් පමණ) ගෙවා මෙම මුද්‍රාවේ අයිතිය හිමි කරගෙන තිබුණි.
මීට පෙර මුද්‍රාවක් සඳහා වෙන්දේසියකදී වාර්තාගත මිලක් නියම වී තිබුණේ වර්ෂ 2011 දීය. ඒ ඇ.ඩො.මිලියන 14ක් හෙවත් ආසන්න වශයෙන් රු.කෝටි 210ක මුදලකි.