(UPDATE) චිලී රාජ්‍යයට උතුරුදිගින් ගොඩබිමට ආසන්නව සාගරයේ ඇති වූ රික්ටර් මාපාංක 8.2ක ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ජීවිත 6ක් අහිමි වූ බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් එම භූකම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළත්, පසුව එය ඉවත් කරගන්නා ලදී. නමුත්, භූකම්පනයෙන් වැඩි හානියක් සිදුවූ කලාප දෙකක් ආපදා කලාපයන් ලෙස නම් කර තිබේ.
ගොඩබිමට වයඹදිගින් සැතපුම් 60ක් පමණ දුරින්, සැතපුම් 12.5ක් ගැඹුරු මුහුදු පතුලේ භූකම්පන තත්ත්වය ඇතිවී තිබෙන බවද එම ආයතනය පෙන්වා දෙයි.
උදෑසන වනවිට මීටර් 2.1ක් පමණ උස උදම් රළ ඇතැම් වෙරළ තීරවලට බලපා ඇති බවත්, විදුලිබලය ඇණහිටීම් සහ නායයෑම් වාර්තාවන බවත් බී.බී.සී. සහ සී.එන්.එන්. පුවත් සේවා වාර්තා කර තිබුණි.
මේ තත්ත්වය තුළ වෙරළාශ්‍රිතව ජීවත්වන දසදහස් ගණනක ජනතාවට ඉන් ඉවත්වන ලෙස බලධාරීහු ක්‍රියා කළහ.
චිලී රූපවාහිනිය පෙන්වූ ආකාරයට මිනිසුන් පොදි කමින් ජීවිත බේරා ගැනීමට දුවන ආකාරය දැකගත හැකිවිය.
භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගයන් 6 දෙනෙකු මියගොස් ඇති බව චිලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා සිටියි.
මෙම භූ කම්පනය හේතුවෙන් පැසිෆික් කලාපයේ පිහිටි ලතින් ඇමරිකානු රටවල් වන පේරු, ඉක්වදෝර්ය, කොලොම්බියාව, පැනමා, කොස්ටරිකා සහ නිකරගුවා යන රටවලටද උදෑසන සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කර තිබුණි.