කොළඹ නගරයේ එකතුවන කසළ පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයට බැහැර කිරීම සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සමග සාකච්ඡා කර තීරණයකට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ප්‍රකාශ කර තිබේ.
කොළඹ නගරයේ කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොළඹ නගරයේ එකතුවන කසළ පුත්තලම ප්‍රදේශයට බැහැරකිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඊයේ (20දා) පැවති කැබිනට් රැස්වීමේදී පාඨලී චම්පික අමාත්‍යවරයා ඉල්ලා ඇති අතර රිශාඩ් බදුර්දීන් අමාත්‍යවරයා එයට දැඩිලෙස විරෝධය පළ කර ඇත.
පුත්තලම ප්‍රදේශයේ මේවනවිට සිමෙන්ති කර්මාන්ත ශාලා, විදුලිබලාගාර ආදිය ඉදිකර ඇති අතර, එම ප්‍රදේශයට කසළ ගෙනැවිත් දමමින් ප්‍රදේශය අපවිත්‍ර නොකරන ලෙස බදුර්දීන් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී දැඩිව ප්‍රකාශ කර තිබේ.
සිමෙන්ති කර්මාන්තශාලා,විදුලිබලාගාර ආදිය පුත්තලමේ ඉදිකර ඇත්තේ සංවර්ධන ක්‍රියාවලියේ පියවරක් ලෙස බවත් ජාතික ගැටලුවක් වී ඇති කසළ ප්රශ්නය විසඳීමට අවස්ථාව ලබාදෙන ලෙසත් එහිදී ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කර ඇත.
යුද්ධයෙන් අවතැන් වූ පිරිස් මේවනවිට පුත්තලමේ පදිංචිව ඇති බැවින් එයට ඉඩදිය නොහැකි බව බදුර්දීන් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා සහ දිස්ත්‍රික් සම්න්ධීකරණ කමිටුව සමග සාකච්ඡාකර අවසන් තීරණයකට පැමිණෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත.