වෙඩි ප්රහාරයකට ලක්ව මියගිය කරන්දෙණිය ප්රාදේශීය සභාවේ උපසභාපති ඩොනල්ඩ් රණවීර මහතාගේ හිසට, මුහුණට, උදරයට සහ පපු ප්රදේශයට ඇතුළු සිරුරේ ස්ථාන කිහිපයකට වෙඩි උණ්ඩ 08ක් පමණ වැදී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ.
උපසභාපතිවරයා මංගල උත්සවයකට සහභාගි වී කැබ් රථයකින් ආපසු නිවස බලා පැමිණිමින් සිටියදී පෙරේදා (08දා) රාත්රියේ ඌරගහ කොරටියන හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් පසු උපසභාපතිවරයාගේ හෘදය වස්තුවට, අක්මාවට, සුසුම්නාවට, මොළය ඇතුළු අවයවවලට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී තහවුරු වී තිබේ.
මෙම ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති අතර ඝාතනය සදහා පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් අත්අඩංගුවට පත් පුද්ගලයා විසිදෙහැවිරිදි වියේ පසුවන අයෙකු බවත් වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් දෙදෙනා පලායමින් සිටියදී අනතුරට ලක්ව ඇති අතර එක් අයෙකු ඌරගහ රෝහලට ඇතුළත් වීමට පැමිණී අවස්ථාවේදී අත්ඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කොට ඇති අතර උපසභාපතිවරයා ඝාතනය කළ ස්ථානයේ තිබී මැගසින් එකක්, ජංගම දුරකථනයක් හා ඝාතකයන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබේ. වැඩිදුර විමර්ශන ඌරගස්මන්සන්දිය පොලීසිය සිදුකරයි.