ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනක ව්‍යාපාරයක් වූ ගෝලීය අවි ආයුධ වෙළෙඳාම නියාමනය කිරීමේ ගිවිසුමක් වලංගුභාවයට පැමිණීම අලුත් පරිච්ඡේදයක් වෙත පිවිසීමක් යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පවසයි.
මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීම තුළින් අත්තනෝමතික සටන් නායකයන්ට, මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට, ත්රස්තවාදීන්ට හා සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත අවි ආයුධ ගලා යෑම වැළැක්වෙනු ඇති බව හෙතෙම විශ්වාස කරයි.
එමෙන්ම, මෙම ගිවිසුම තුළින් යුධ අපරාධ හෝ මහා මනුෂ්‍ය සංහාරයන් කෙරෙහි බලපැවැත්වෙන ආයුධ සැපයුමද අඩාල වනු ඇති බව කියයි.
මේ දක්වා මෙම ගිවිසම වෙත රටවල් 60ක් අනුමත කළද, තවමත් ලෝකයේ ප්‍රමුඛතම අවි ආයුධ අපනයනකරුවා වන ඇමෙරිකාවේ එකඟත්වය ඊට ලැබී නොමැත.
2013 වසරේදී වොෂිංටනය මීට අත්සන් කළද, ඒ වෙනුවෙන් සෙනට් මණ්ඩලයේ අනුමැතිය තවම ලැබී නොමැත. එරට සෙනට් මණ්ඩලයේ බහුතර බලය අද පවතින්නේ විරුද්ධ පක්ෂ රිපබ්ලිකන්වරුන් අතය.
එමෙන්ම, ලෝකයේ අවි ආයුධ වෙළෙඳාමේ යෙදෙන තවත් ප්‍රමුඛතම රටවල් කිහිපයක් වන චීනය, රුසියාව, ඉන්දියාව හා පාකිස්තානයද තවම ඔවුන්ගේ අත්සන් මෙහි තබා නොමැති බව කියයි.
තවදුරටත් පමා වීමකින් තොරව මෙම ගිවිසුම වෙත එළැඹෙන ලෙස බැන් කී මූන් මෙම රටවලට ආරාධනා කරයි. ඔහු පවසන්නේ වගකීම, වගවීම හා විනිවිදභාවය සහිත ගෝලීය අවි ආයුධ වෙළෙඳාමක් වෙනුවෙන් මේ තුළින් නව පරිච්ඡේදයක් පෙරළෙන බවයි.