හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් නිකුත් කළ නියෝගය ඔහුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් සිද්ධීන් හතර සඳහා පමණක් අදාළ බවත්, ඊට පරිබාහිර සිද්ධීන් සඳහා මෙම නියෝගය අදාළ නොවන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (08දා) පැහැදිලි කිරීමක් සිදුකළේය.
මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් අපහැදිලිතා රැසක් මතුව ඇති බවටත්, එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි කරගැනීමක් අපේක්ෂා කරන බවත් මෝෂමක් ගොනු කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටිමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.
ඒ අනුව පෙත්සමේ සඳහන් වගඋත්තරකරුවන් වන පොලිස්පතිවරයා, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රහස් පොලීසියේ අධ්යක්ෂවරයා හැර අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්ව සඳහාද මෙම නියෝගය අදාළ නොවන බව විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය සහ විනිසුරු සරත් ද ආබෘෘ මහතාගෙන් සමන්විත විනිසුරු මඬුල්ල අවධාරණය කර සිටියේය.
මෙම පෙත්සමට අදාළව සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් පෙත්සම්කරු අතුරු තහනමක් ලබාගෙන ඇති බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම සිද්ධීන් ලෙස පාවෙන අවි ගබඩා සිද්ධිය, ලීසිං ක්‍රමයට මිහින් ලංකා ආයතනයට ගුවන් යානා මිලදීගැනීම, 2006 මිග් ගුවන් යානා මිලදීගැනීම සහ ලංකා හොස්පිටල් ආයතනයේ කොටස් ගනුදෙනු ආදිය නම් කර සිටියේය.
මෙම අතුරු නියෝගය නිකුත් කිරීම නිසා කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන්පෙත්සම්කරු කිසිදු නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට අත්අඩංගුවට ගැනීමට නොහැකි බවට අපහැදිලිතාවක් පවතින බවද කෝදාගොඩ මහතා පවසා සිටියේය.
මෙම අතුරු තහනම් නියෝගය මගින් පෙත්සම්කරුට අසීමිත මුක්තියක් ලැබී ඇති බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයෙකුට ලැබී ඇති මුක්තියට සමාන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මෙම නියෝගය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලාපොරොත්තු වීම අනවශ්‍ය කරුණක් බවයි. එවැනි ක්‍රියාවක් අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස භාවිත කිරීමක් බවද ඔහු පැවසීය.
තමා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) මගින් සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වන බවටත්, එලෙස අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කරු වන හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් අයැද සිටියේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීමට අදාළව 2015 පෙබරවාරි මස 13 වැනිදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ ක්‍රියාකාරීත්වය වළකන ලද නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටියේය.